ඇලෝසියස්ට හා පලිසේනට ඇප සිහිනයක්ම වන ලකුණු

Spread the love

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන් තමන්ට ඇප ලබා දෙන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නීතිමය හිමිකමක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තමන්ව ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ යළි සලකා බැලුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරුවකුට ඇප ලබාදෙන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට සුවිශේෂ හේතු තිබිය යුතු බව කියා සිටියේය.

එහෙත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඉදිරිපත් කරන ප්‍රතිශෝධන පෙත්සම තුළ කිසිදු සුවිශේෂ කරුණක් අනාවරණය නොවන බැවින් එය විභාග කිරීම සඳහා අධිකරණයට අවශ්‍යතාවක් මතු නොවන බවද රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් රයා පෙන්වා දුන්නේය.

නීතියට අනුව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකියාව සැලසෙන්නේ ඉතා සුවිශේෂී අවස්ථාවන්වල පමණක් බව පෙන්වාදුන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් කෝදාගොඩ මහතා එහෙත් එම සිද්ධියට අදාළව එවැනි සුවිශේෂී තත්ත්වයන් කිසිවක් අනාවරණය වී නොමැති බව කියා සිටියේය.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා පැවති වෙන්දේසියේදී ඉහළ පොලී අනුපාතයන්ට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත බැඳුම්කර අලෙවි කිරීම තුළින් එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් සිදු කර ඇති බවත් එම පාඩුව සිදුකිරීම සඳහා අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් ආධාර අනුබල දී ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.

වැඩිදුර විමසීම ජුලි මස 04 වනදාට කල් තැබුණි.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමන්ව ඇපමත මුදා හැරීම පොදු දේපල පනත යටතේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එහෙත් මෙම පරීක්ෂණයට අදාල රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාව මඟින් පොදු දේපල පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

එම නිසා තමන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් දී ඇති නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් කොට තමන්ට ඇප මත මුදා හරින මෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ද අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

RSL

Related Posts