ඇතැම් කලාකරුවන් කුඩු ජාවාරමේ!අමල් සහ රයන් සොහොයුරන්ගේ නිවෙස් වලත් කුඩු

Spread the love

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ.

ඊයේ(07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයා ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.

මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු මේ වන විට බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේ සිටින බවත් වාර්තා වෙයි.

එසේම ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස ද පරීක්ෂාවට ලක් කළ බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

එම නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයා ගෙන ඇති අතර රයන් වෑන් රෝයන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් පැවසීය.

පසුගිය දින කිහිපයේම රටේ කාගෙත් අවදානය දිනාගත් පුවත් වූයේ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායි හිදී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමේ සිද්ධියයි.

මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් එම මෙහෙයුම පිළිබඳ තොරතුරු අද දින අනාවරණ විය.

මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කළුතර බන්ධනාගාරයේ නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, කඹුරුපිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙකුද සිටින බව වාර්තාවෙයි.

මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් කලක පටන් ඩුබායි හී සැඟවී සිටිමින් මෙරට සිදු වූ ප්‍රධාන පෙළේ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් මෙහෙයවමින් සිටි අතර ඔහුව අත්අඩංගුවට ගැනීම මෙරට ආරක්ෂක අංශවලට දැඩි අභියෝගයක් බවට පත්ව තිබූණි.

මෙරට අපරාධ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ නිලධාරීන්ට නෛතික හැකියාවක් නොමැති නිසා ඔවුන් එරටදී සිදුකරන වරදකට අදාළව එරට පොලිසියේ ග්‍රහණයට හසුකරදීම මෙරට ආරක්ෂක අංශවල උපාය බවට පත්වී තිබුණි.

RSL

Related Posts