රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ ගැඹුරු අරුත මැනවින් තේරුම් ගැනීමට යම් හෙයකින් අප අපොහොසත් වුවහොත් එහි නිසැක ප‍්‍රතිඵලය අතිශයින්ම බිහිසුණු වියහැකිවාක් මෙන්ම, ඒ තුළ ජාතියක් ලෙස නූතන ලෝකය ඉදිරියේ අප බොහෝ පසුපසට ද ඇද වැටෙනවා නිසැකය.
මීතොටමුල්ල කසළ කන්ද අප ගැඹුරු පාඩමක් කරගත යුත්තේ ඒ අනුවය. ඉතා පැහැදිලි ලෙසම මීතොටමුල්ල ඛේදවාචකය අප දැනුවත්ව හා අපේ නොදැනුවත්භාවය නිසා කැඳවාගත් එකකි. මක්නිසාද යත් මේ ඛේදවාචකය උදෙසා දැනුවත්ව සිදුකර ඇති ක‍්‍රියාවන් මෙන්ම නොදැනුවත්කම් ද බෙහෙවින් බලපා ඇති නිසාය. එහිදී මේ රටේ සමස්ත ජනතාවම ඉතා පැහැදිලි ලෙස තේරුම්ගත යුතු කරුණු ගණනාවක්ම තිබේ. එනම් අද මේ දැවැන්ත ඛේදවාචකය හමුවේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා කිඹුල් කඳුළු හෙළන බොහෝ දෙනෙකුගේ අමන හා දුෂ්ට ක‍්‍රියාමාර්ග මෙවන් විපතකට බලවත් හේතු සාධක සපයා ඇති බවය.
කොළඹ නගරයේ පිරිසිදුකම ගැන සියතින්ම සහතික ලබාගන්නා අය ද, වගේ වගක් නොසොයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එම සහතික ලබාදෙන සෑම කෙනෙක්ම ද එහිදී අමතක නොකළ යුතු කරුණු දෙකක් තිබේ. එනම් ඔවුන් එදා කොළඹ නගරය ලස්සන කළේ නගරයෙන් එකතුවන සියලූ කුණු ගොඩවල් සැලසුමකින් තොරව මීතොටමුල්ලට ගෙනවිත් කඳු ගසමින් වන බවය. ඒ පිළිබඳව එදා එම ප‍්‍රදේශවල ජනතාව යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ගොස් ලබාගත් නඩු තීන්දුවට ද පයින් ගසමින් මේ ආකාරයට දැවැන්ත කුණු කන්දක් නිර්මාණය නොකළේ නම් ජනතාවට අද මෙවන් විපතකට මුහුණ දීමට සිදුනොවන බවය.
ඉතා පැහැදිළිවම සඳහන් කරන්නේ නම් එදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ මීතොටමුල්ල ප‍්‍රදේශයට කුණු බැහැර කරන වපසරිය අක්කර දෙකකට පමණක් සීමා කරන ලෙසටය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තඹයකට මායිම් නොකළ ඔවුන් එම කුණු කන්දේ සීමාව අක්කර 20ක් දක්වාම පුළුල් කර තිබේ.
එහෙත් එහිදී ද එක්දෙයක් පැහැදිලිවම කිවයුතුය. එනම් මෙවන් ඛේදවාචකයකට පාර කැපූවෝ ඔවුන් පමණක්ම නොවන බවයි. එවැන්නන්ගේ ආශිර්වාදය ලද එවැන්නන්ට ආශිර්වාද කරන ලද සෑම පිළකටම අයත් දේශපාලකයන් ද එම දේශපාලකයන් සෙවණේ හැදී වැඩෙන පාතාල කල්ලි කණ්ඩායම් ද ඒ සියල්ලටම ඉදිරියේ මුදලට පමණක් ඇස් ඇරෙන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් ද මේ ඛේදවාචකයට සෘජුවම වගකිවයුතුව තිබේ.
ඒ අනුව මේ ඛේදවාචකයේ පසුබිම ගැනද, මෙම ඛේදවාචකයට මුවා වී සිදුකරන්නට සැළසුම් කරන දේශපාලන කුමන්ත‍්‍රණ ගැන මෙන්ම අනාගතයේදී මෙවන් විපත් මඟහැරිය හැකි කසළ කළමනාකරණය නිවැරදි ලෙස කරගැනීමට මඟ සෙවිය යුත්තේ මේ රටේ ජනමාධ්‍ය විසින්ය. එහෙත් අද වනවිට මේ රටේ ජනමාධ්‍ය බොහෝමයක්ම ඛේදවාචකයන් තලූ මරමින් ජනතාවගේ සංවේදීභාවයන් තුළ ගුලි වී සිටිනවා විනා නිවැරදි මඟපෙන්වීමකට ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නොමැත.
විද්වත් වෘත්තිකයන් ඇතුළු දැනුවත් සමාජයට එහිදී ඇති වගකීම කිසිසේත්ම බැහැර කළයුතු නැත. දියුණු සමාජ ප‍්‍රජාවන් වාසය කරන කිසිදු සමාජයක කුණු කසළ සමාජ ප‍්‍රශ්නයක් වී නොමැත. කුණු කසළ අයථා ආදායම් මාර්ග කරගන්නේත් එය සමාජ ප‍්‍රශ්නයක් ලෙස කරමත තබාගෙන විඳවන්නේත් සාපේක්ෂ වශයෙන් නොදියුණු සමාජයන් ය. පසුගිය අවුරුද්දක කාලය තුළදී ඉතියෝපියාව හා ගෝතමාලාව යන රාජ්‍යයන් වෙතින් ගතහැකි පාඩම් ඊට නිදසුන්ය.
පසුගිය දා මීතොටමුල්ලේ දී සිදුවී ඇති ආකාරයේම සිදුවීමක් ගෝතමාලා රාජ්‍යය තුළ සිදුව ඇත්තේ හරියටම මීට අවුරුද්දකට පෙරදීය. එනම් පසුගිය වසරේ අපේ‍්‍රල් 23 වනදාය. ඒ ගෝතමාලාවේ දැවැන්ත කුණු කන්දක් නාය යාමෙනි. එහිදී මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24 කි. ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේද එවැනිම ඛේදවාචකයක් සිදුවන්නේ හරියටම මීට මාසයකට පමණ පෙරදීය. එනම් පසුගිය මාසයේ 12 වනදාය. ඉතියෝපියාවේ දැවැන්ත කුණු කන්දක නායයාම හේතුවෙන් බිලිගෙන ඇති ජීවිත ප‍්‍රමාණය 113 කි.
ඒ අනුව සැලසුමකින් තොරව ඉවක් බවක් නොමැතිව කසළ කඳු ගොඩනගා ඇති සෑම සමාජයකටම මෙවන් තත්වයන්ට මුහුණ දීමට සිදුවේ. එය සිදුවන්නේ ඒ ඒ කුණු කඳුවල විශාලත්වය නිසාම නොවේ. ඒ තුළ සිදුවන රසායන විපර්යාසයන් ද හේතු කරගනිමින් ය. ඒ මීතේන් වැනි වායූන් මගින් ඇතිකරන පීඩනය හේතුවෙනි. නිසැක වශයෙන්ම වනාතමුල්ලේ දී සිදුවන්නට ඇත්තේ ද එවැනිම තත්වයකි. එහෙත් අඩුම වශයෙන් පසුගිය වසරක කාලයක් තුළ සිදුව ඇති ගෝතමාලා හා ඉතියෝපියාවේ ඛේදවාචකයන් සළකා බලා හෝ අප රටට අදාළව පූර්ව අනතුරු ඇඟවීමක් කරන්නට ඉදිරිපත් වූ විද්වත් වෘත්තිකයෙක් පිළිබඳව හෝ වෘත්තීය ආයතනයක් පිළිබඳව අසන්නට නොලැබීම කණගාටුදායකය.
ඒ අනුව මේ ව්‍යවසනයට දැනුවත්ව හෝ නොදැනුවත්ව පාර්ශවයන් කිහිපයක්ම හවුල් වී තිබේ. පාඩම් ඉගෙනගන්නා ජාතියක් නම් අප ඒ බව පිළිගත යුතුය. ඒ තුළ විසදුම් සොයාගත යුතුය. අනාගත පරපුරට මෙවන් ඛේදවාචකයන් උරුමකර නොදීමට නම් අප පිවිසිය යුත්තේ එවැනි මඟකටය.
-සුනිල් ජයසේකර-