
මෙරට ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා බිලිගන්නා කුප්‍රකට දේශපාලන සහ අන්තවාදී ප්‍රධාන සංවිධාන කිහිපයක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය, සිහළ රාවය සහ ඩීල්ලන්තගේ ඩීල් මත ක්‍රියාත්මක ඥානසාර හිමි පෙරටු කරගත් බොදු බල සේනාව නොහොත් බොබසේය.
අක්මීමන දයාරතන නම් හිමිනම පෙරටුකර ගත් එවැනි සංවිධානයක් විසින් පසුගිය 26 වැනි දා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පොලිසියට අවශ්‍යව සිටිය දී පොලිසිය මඟහරිමින් සැඟවී සිටි අරඹේපොල රතනසාර හිමියෝ ඊයේ අලුයම ගිහි පැවිදි හැඳුනුම්පත් දෙකක් ද සහිතව මහනුවර සිට කොළඹට යමින් සිටිය දී විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අරඹේපොල හිමියෝ මෙසේ හැඳුනුම් පත් දෙකකින් පෙනී සිට ඇති අතර, ඉන් එක් හැඳුනුම්පතක් ගිහි ජීවිතයට අදාළ එකක් වන අතර, අනෙක් හැඳුනුම්පත පැවිදි ජීවිතයට අදාළ හැඳුනුම් පතක් වෙයි.
ඒ අනුව එක් හැඳුනුම්පතක සඳහන් වෙන්නේ අරඹේපොල රතනසාර හිමි, උපන් දිනය 1992. 12. 05, උපත කුරුණෑගල, ලිපිනය- අංක 226 පූර්වාරාම පාර කිරුලපන කොළඹ 05 යනුවෙනි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2011 දෙසැම්බර් මස 9 වැනි දින වෙයි.
රතනසාර හිමියන් විසින් භාවිත කර ඇති අනෙක් හැඳුනුම්පතේ සඳහන් වෙන්නේ තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර තෙන්නකෝන්, දූව පන්සල පාර, කලුතර දකුණ යනුවෙනි. එහි සඳහන් උපන් දිනය ඉහත සඳහන් හැඳුනුම්පතේ උපන් දිනයම වෙයි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2017. 07. 05 දින වෙයි. එනම් මීට මාස දෙකකට පෙර එම හැඳුනුම්පත නිකුත් කර තිබේ.
මීට දින දෙකකට පෙර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රටේ කොතනක හෝ යම් කිසි අපරාධ සිද්ධියක් වෙයි නම් ඍජුවම ඒ මහතාට කතා කළ හැකි දුරකතන අංක දෙකක් හඳුන්වා දුන්නේය. රතනසාර හිමියෝ ඊයේ අලුයම මහනුවර සිට කොළඹට යමින් සිටිය දී ඒ බව පොලිස්පතිවරයා විසින් හඳුන්වා දුන් දුරකතන අංකයක් වූ 071 8591902 ට කතා කළ පුද්ගලයෙක් රතනසාර හිමියන් මෙසේ බස් රථයකින් ගමන් ගනිමින් සිටින බවට දැනුම් දී තිබේ.
පොලිස්පතිවරයා ඒ අවස්ථාවේම පොලිස් මූලස්ථානයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යවා අදාළ බස් රථය පරීක්ෂා කර රතනසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.
අත්අඩංගුවට ගත් රතනසාර හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී උන්වහන්සේ විසින් හැඳුනුම්පත් දෙකක් භාවිත කළ බව පිළිගෙන ඇත. එම ව්‍යාජ හැඳුනුම්පත භාවිත කර රතනසාර හිමියන් විසින් කරන ලදැයි සැක කරන යම් යම් සිද්ධීන් කිහිපයක් ගැන ද පොලිසියට මේ වන විට තොරතුරු ලැබී ඇති බව ද පැවැසේ.
තව ද රතනසාර හිමියන් විසින් එම ව්‍යාජ හැඳුනුම්පත භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ ද සහ ඒ හරහා සිදු කර ඇති වංචා සහගත දේවල් මොනවාද යන්න සොයා ගැනීම සඳහා කොළඔ අපරාධ කොට්ඨාසය රතන සාර හිමියන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
හැඳුනුම්පත් දෙකක් භාවිත කිරීම බරපතළ වරදක් බව දැන දැනම රතනසාර හිමියන් විසින් මේ ආකාරයෙන් හැඳුනුම්පත් දෙකක් භාවිත කිරීම සඳහා එම හැඳුනුම්පත් සකස් කර දීමට කටයුතු කළේ කවුද? යන්න සහ මේ පිටුපස කරගෙන යන අපරාධ මොනවාද යන්න ආදී වශයෙන් මේ සියලු වංචා සහගත සිද්ධීන් ඇතුළු සියලු දෑ අනාවරණය කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන අතර රතනසාර හිමියෝ ඊයේ පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබුණි.