ජනපති ගමේ වැඩට අත ගසයි

Spread the love

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් අවිධිමත් ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ග‍්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා වූ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවත්, ඒ පිළිබඳ යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවයට ඊයේ (20) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එක්වෙමිනි.

ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථිකයකින් හෙබි තිරසාර ශී‍්‍ර ලංකාවක් තුළ සියලු ආකාරයේ දිළිඳුකම මුලිනුපුටා දැමීමේ ජනාධිපතිතුමාගේ දැක්ම අනුව කි‍්‍රයාත්මක මුඛ්‍ය වැඩසටහන ලෙස ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත්කෙරේ.

පළමු අදියරේදී ශ‍්‍රී ලංකාව පුරා තෝරාගත් ග‍්‍රාම සේවා නිලධාරී කොට්ඨාස 5000 ක් ආවරණය කරමින් දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙඳපොළ ජය ගැනීමේ අවස්ථාව සලසා දීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදු කෙරේ.

වැඩි කාන්තා සහ තරුණ දායකත්වයක් ලබාගනිමින් වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව සංවේදීව ගමේ සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීමේ ශක්තිය ලබාදෙමින් එම සැලසුම් ප‍්‍රාදේශීය සහ පළාත් සංවර්ධන සැලසුම් සමග ඒකබද්ධ කිරීම මෙහි අරමුණයි.

ශක්තිමත් ජනතා සමාගමක් ග‍්‍රාමීය මට්ටමින් බිහිවීම, සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් ගොඩනැගෙන ග‍්‍රාමීය සංවර්ධන සැලැස්මක් නිර්මාණය වීම, ඒක පුද්ගල ආයෝජනය රු 8000 ලෙස ගණනය කළ රාජ්‍ය ආයෝජනයක් ගමට ලැබීම, යැපුම් මානසිකත්වයකින් මිදී ව්‍යවසායකත්වය වෙත එළැඹීමට විශේෂ පුහුණුව සහ ග‍්‍රාමීය ප‍්‍රාග්ධනය ශක්තිමත් කෙරෙන ඉතුරුම් ක‍්‍රමයක් මෙහි ප‍්‍රමුඛ ප‍්‍රතිලාභ වේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, ධනවතුන් තවදුරටත් ධනවතුන් කිරීමට සම්පත් ලබාදීමේ ප‍්‍රතිපත්තියෙන් බැහැරව ආර්ථික අමාරුකම් තිබෙන ජනතාව ඉන් මුදා ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය යහපත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ වරප‍්‍රසාද ලබාදීම රජයක මූලික වගකීමක් බවයි.

දේශපාලන වශයෙන් එකිනෙකාට ඇගිල්ල දිගු නොකර, දිළිඳුකම පිටුදැකීම සඳහා පසුගිය දශක කිහිපය පුරා සෑම රජයක්ම ගෙන ගිය වැඩසටහන් අත්දැකීම් කර ගනිමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

චක‍්‍රලේක සහ නියෝගවලට වඩා ප‍්‍රමුඛත්වය දිය යුත්තේ සිය කාර්යය හෘද සාක්ෂිය අනුවම නිසි ලෙස ඉටුකිරීම සඳහා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම වැඩපිළිවෙළේදී සියලුම දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් පරිපාලනයේ නියමුවන් නොව ඒ හා අනුගත වූ සංවර්ධනයේ නියමුවන් බවට පත්විය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

තම තමන්ගේ දිස්ති‍්‍රක්කවල කි‍්‍රයාත්මක සංවර්ධන න්‍යාය පත‍්‍ර තුළ ප‍්‍රමුඛත්වය ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට හිමිවිය යුතු බව මෙහිදී මැති ඇමතිවරුන්ට පැවසූ ජනාධිපතිතුමා ඉදිරියේදී දිස්ති‍්‍රක්ක මට්ටමින් සහ ප‍්‍රාදේශීය මට්ටමින් පැමිණ එහි ප‍්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ජනතාව දුගීබවින් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කාලීන මෙන්ම යුගයේ අවශ්‍යතාවයක් ඉටුකිරීමක් වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සමග රටට ආදරය කරන සියලු පුරවැසියන් අත්වැල් බැඳගනු ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අදාළ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණු අතර, 2017 වර්ෂයට අදාළව ගම් දහසක වැඩපිළිවෙළ සංකේතාත්මකව කි‍්‍රයාවට නැංවීම, යාවත්කාලීන කරන ලද ගැමිදිරිය ගම් 2040 ග‍්‍රාමශක්ති වැඩසටහන යටතට එක්කිරීම, දිළිදුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ පුද්ගලික අංශ සහයෝගීතාවය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරිණි.

එමෙන්ම ග‍්‍රාමීය තරුණ තරුණියන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම සඳහා එයාර්ටෙල් ආයතනය සමග ඒකාබද්ධ වූ වැඩසටහන කි‍්‍රයාවට නැංවීම ද මෙහිදී සිදු කෙරිණි.

ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම මගින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ව්‍යවසායකත්ව තරුණ තරුණියන්ට ණය පහසුකම් ලබාදීම ද සිදු කෙරිණි.

2018 වර්ෂය ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය බවට නම් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදන කි‍්‍රයාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලබන කැපවීම ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

RSL

Related Posts