වත්මන් ආණ්ඩුව මේ වන විට පත්ව ඇති විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් ඉන් පීඩා විඳින ජනතාව ඉන් මිඳී තමාට පහසුව සහ වාසිය අත්කර ගත හැකි දේශපාලනික නොවුනු ව්‍යාපාරික විසඳුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් අද(28) පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේය.
ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශවයම ගොඩයන විසඳුම ඉදිරිපත් කරමින් තිලංග සුමතිපාල මහතා පැවසූයේ, අද වන විට තාප බලාගාරවලට පිලිස්සී යන මහජන මුදල් කන්දරාව දෙස බලද්දී වසරේ වැඩි කාලයක් සහ දවසේ වැඩිකාලයක් සූර්යා ලෝකය ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටකට සූර්ය බලශක්තිය ඉතා ලාභදායී විදුලි ජනන ක්‍රමයක් බවත්, ඒ සඳහා මේ රටේ විදුලි පාරිභෝගිකයින් වන සෑම දෙනාටම පහසුවෙන් දායක වී ඔවුන්ට රටේ සංවර්ධනයට දායක වන අතරේ ලාභදායී ආදායම් මාර්ගයක් සපයා ගත හැකි වන බවත්ය.
දැනට රජය විසින් සූර්ය බලශක්ති පැනල සවිකරගැනීම සඳහා ජනතාවට ණය ලබාදෙනුයේ සියයට 14-17 ක් වැනි ඉහළ පොළියට බවත්, එය සියයට 5-6 ත් අතර විය යුතුබවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේම දැනට එලෙස විදුලිය නිපදවන විදුලි පාරිභෝගිකයින්ගෙන් විදුලි බල මණ්ඩලය ඒකකයක් මිලදී ගනු ලබන්නේ රුපියල්17 ක් වැනි සුළු මුදලකට බවත් එය රුපියල් 24 ක් 30 ක් දක්වා වැඩිකළ හැකිබවත් පැවසූ තිලංග සුමතිපාල මහතා එවැනි මුදලකට ජනතාවගෙන් විදුලිය මීලදී ගත්තද එය තාප විදුලිය නිපදවීමට වැය කරන මුදලට වඩා ලාභදායී බව ඔහු උදාහරණ සහිතව කරුණු දක්වමින් සඳහන් කර සිටියේය.
අද පවතින්නේ විදුලි මාෆියාවක් බවත්, මෙයින් ඇතැමුන් අතිවිශාල කොමිස් කුට්ටි කඳුගනනින් උපයන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, ජනතාව අතට සූර්යබලයෙන් විදුලිය නිෂ්පාදනය පත්කළහොත් ජනතාව පමණක් නොව කොමිස් කුට්ටි වලට යටවූ විදුලි මාෆියාව පරාජයට පත්කර රටත් ජනතාවත් ජයග්‍රහණය කරවිය හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.