ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි නාලනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊයේ (01) ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ආයෝජන ප්‍රතිපත්තියට අනුව අර්ථසාධක අරමුදල් ආයෝජනය කළ හැක්කේ රජයේ සුරැකුම්පත්වල සහ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම්වල කොටස්වල පමණක් වුවත් අර්ථසාධක අරමුදල 2015 වර්ෂයට පෙර කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් අටක අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර තිබූ බවද අර්ථසාධක අරමුදල් අධිකාරිවරිය කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තාය.
මේ සමාගම් අටෙන් පහක ආයෝජනය කර තිබූ රු. කෝටි 683.5 ක මුදලට කිසිදු ප්‍රතිලාභයක් මෙතෙක් අර්ථසාධක අරමුදලට ලැබී නැති බවත් මීට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රු. කෝටි 50 ක ආයෝජනය ද අයත් බවත් සාක්ෂිකාරිය කීවාය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් පුද්ගලික බැංකුවක රුපියල් මිලියන 495 ක් ද, ජෙට්වින් සිම්පති සමාගමේ රු. මිලියන 390 ක්ද, වැලිගම හොටෙල් ප්රරොපටීස් සමාගමේ රු.මිලියන 450 ක්ද, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගමේ රු. මිලියන 5000 ක් (රු. බිලියන 5 ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රු. මිලියන 500 ක් වශයෙන් මේ රු. කෝටි 683.5 ක (රු. මිලියන 6835 ක) අති විශාල මුදල ආයෝජනය කර තිබූ බවද සාක්ෂිකාරිය කොමිසමට හෙළි කළාය.
මීට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ රු. මිලියන දහසක් සහ වෙස්ට්ව්න්ජ්; කෝස් සමාගමේ රු. මිලියන 2975 ක් අර්ථසාධක අරමුදල් ආයෝජන කර තිබූ බව හෙළි කළ ඇය ප්‍රකාශ කළේ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ ච් රේටින්ග්ස් පෞද්ගලික සමාගමේ ද සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කර තිබූ බවයි.
එම සමාගම් තුනෙන් අරමුදලට ප්රතිලාභ ලැබී ඇති බවද ඇය කීවාය. මෙම මුදල් මේ රටේ වැඩ කරන ජනතාවට අයත් අර්ථසාධක අරමුදල් බවද ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රශින කිරීම් හමුවේ සාක්කාෂිකාරිය පිළිගත්තාය.
රටේ සේවක අර්ථසාධක අරමුදලට අයත් සේවක ප්‍රජාවගේ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිසි සැලකිල්ලකින් තොරව භාවිත කර තිබේ දැයි ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා ප්‍රශ්න කළ අතර ඊට තමාට නිශ්චිත පිළිතුරක් දීමට අපහසු බව සාක්ෂිකාරිය කීවාය.
ඇතැම් ප්රශ්නවලදී සාක්ෂි නොදී නිහඬව සිටි බැවින් ප්‍රශ්නයට පිළිතුරු සපයන ලෙස සාක්ෂිකාරියට කීප වරක්ම අවවාද කිරීමට ද ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාට සිදු විය.
කොමිසම ඊයේ (01දා) උදේ 10.00 ට එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා වියදම් කළ අර්ථසාධක අරමුදල් සාමාජිකයන්ට හිමි රු. කෝටි 50 ක මුදලෙහි වටිනාකමට අද අර්ථසාධක අරමුදලේ ගිණුම්වල දැක්වෙන්නේ රු. 100 ක නාමික අගයක් පමණක් යෑයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි නාලිනි මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊයේ ශ්‍රී ලංකන් -මිහින් ලංකා ජනාධිපති කොමිසමට හෙළි කළාය.
වර්ෂ 2010 දී ශ්‍රී ලංකන් සමාගමේ ආයෝජනය කළ රු. කෝටි 50 ක අර්ථසාධක මුදල්වල වර්තමාන වටිනාකම කොපමණ දැයි ප්‍රරශ්න කළ අවස්ථාවේ බණ්ඩාර මහත්මිය මේ බව කීවාය.
රු. මිලියන 500 ක අර්ථසාධක අරමුදලේ ආයෝජනය ඒ අනුව පොත්වල දැක්වෙන්නේ රු. 100 ක අගයකට බවද ඒ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවද සාක්ෂිකාරිය පැවසුවාය.
ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව කොටස් අගය අඩුවීම සම්බන්ධයෙන් සාක්ෂිකාරිය කොමිසමට කරුණු පැහැදිලි කිරීමක්ද කළාය.
මේ රු. මිලියන 500 ක (රු. කෝටි 50 ක) අර්ථසාධක අරමුදලේ ආයෝජනය සඳහා එම මුදල ආයෝජනය කළ දින සිට මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නැති බවද ඇය ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.
මෙම ආයෝජන සිදුකර ඇත්තේ බලය අයුතු ලෙස භාවිත කරමින් නොවේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සාක්ෂිකාරිය කීවේ එම ආයෝජනය කිරීමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය ගැන නිසි සමාලෝචනයක් සිදුකර ඇති බවට ලිපිගොනුවල සාක්ෂි දක්නට නොමැති බවයි.
එසේම 2011 වසරේදී සංශෝධනය කළ අර්ථසාධක අරමුදලේ ආයෝජන සහ වෙළෙඳ මාර්ගෝපදේශ අනුවත් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම්වල අර්ථසාධක මුදල් ආයෝජනය කිරීම සඳහා මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය (ගනුදෙනුව කිරීමට පෙර) ගත යුතු බවත් සාක්ෂිකාරිය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙස කියා සිටියාය.