ආනයනය සීමා කිරීමෙන් ගැටළුවට විසඳුම් හොයන්න බැහැ; ආර්ථිකය සහ මුල්‍ය කළමනාකරණය ගැන නොදත් මංගලට දැනුමැති අයගෙන් ප්‍රතිචාර

Spread the love

මුදල් අමාත්‍යංශය පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මත කළ නව ආනයන රෙගුලාසි හේතුවෙන් රථවාහන වල මෙන්ම ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ආනයනික විද්‍යුත් උපකරණ රැසකද මිලගණන් ඉහළ යනු ඇති බව ආනයනකරුවන් පවසයි.

මේ අතර ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ රුපියල අවප්‍රමාණය වීමෙන් එල්ල වන බලපෑම් වැළැක්වීම සඳහා ආනයනය සීමා කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන බවයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අවප්‍රමාණය වීම පසුගිය සති කිහිපය පුරා දිගින් දිගටම සිදු වූ අතර ඒ අනුව ඊට විසඳුමක් වශයෙන් රජය පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක්ම ගනු ලැබීය.

බස් , ලොරි ,ගිලන් රථ හැර වෙනත් වාහන සදහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 200 ක තැන්පතුවක් අනිවාර්යකිරීම එහි එක් පියවරක් වූ අතර හයිබ්‍රිඩ් රථ වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගැනිමේදි මෙතෙක් ලබාදී තිබු 70%ක අගය එහි වටිනාකමින් 50% දක්වා අඩු කිරීම එලෙස ගැනුණු තවත් පියවරකි.

මෙම ක්‍රියාමාර්ග මෙරට වාහන වෙළෙඳ පොළට කෙසේ බලපාවිදැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා අදහස් පළ කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ මේ තුළින් ඉදිරියේදී වාහන ආනයනය විශාල ප්‍රමාණයකින් සීමා වනු ඇති බවත් මෙම තත්ත්වය ඉදිරි අවුරුදු එකහාමාරක කාලය තුළ පවතිනු ඇති බවයි.

මේ අතර නිවැසියන් සාමාන්‍ය පරිහරණයට යොදාගන්නා ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන ,අනෙකුත් දුරකතන හා උපාංග , රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආදිය ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් තැබිය යුතු බවටද ඊයේ නිවේදනය කෙරිණි

මුදල් අමාත්‍යංශය ගත් මෙම පියවර මගින් රජයේ අපේක්ෂිත ආර්ථික ඉලක්ක කරා ළඟාවිය හැකි වේදැයි අප කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ආනයනය සීමා කිරීම හරහා පමණක් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බවයි.

RSL

Related Posts