ගංවතුර, සුළි සුළං හෝ නාය යෑම් වැනි ස්වාභාවික ආපදා අවස්ථාවන්වල දී අවශ්‍ය සහන කටයුතුවලට, ඒ සඳහා මනා පුහුණුවක් ඇති ආරක්ෂක අංශවල සහය ලබා ගැනීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව වෙත උපදෙස් දුන්නේය.
ඊයේ (25) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ හත්වන රැස්වීමේ දී ජනාධිපතිතුමා එම අදහස් පළ කළේය. පවතින කාලගුණික තත්ත්වයන් යටතේ ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර හෝ නායයෑම් වැනි ආපදා තත්ත්වයන්වලට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත්, ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව මගින් හඳුන්වා දී ඇති සෙවීමේ හා මුදා ගැනීමේ ඒකකයන් ස්ථාපිත කිරීම කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය. ආපදා තත්ත්වයන් නිසා විනාශ වන නිවාස වෙනුවෙන් වන්දි ගෙවීමට එක් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ද නාය යෑමට ලක්විය හැකි ප්‍රදේශයන්වල නිවාස සෑදීමට අවශ්‍ය නිර්දේශයන් ලබා දීමේ ඇතිවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, ෆීලික්ස් පෙරේරා යන අමාත්‍යවරු ද ප්‍රධාන අමාත්‍යවරුන් වන බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, අතුල විජේසිංහ යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.