2018 අයවැයෙන් වැඩිම මුදල් ආරක්ෂක අමාත්‍යංශයට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට!

Spread the love

පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කරන අයවැය පළමුවර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර (2018) සඳහා වැඩි මුදලක්‌ වෙන් කරනු ලබන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහාය. එය රුපියල් කෝටි 29071 කි. එය මේ වසරේ වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 667 ක වැඩිවීමක්‌ පෙන්නුම් කරයි.

මේ වන විටත් වෙබ් අඩවියට එක්‌කර තිබෙන 2018 අයවැය ප්‍රථම වර කියෑවීමේ විසර්ජන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි. මෙම පනත් කෙටුම්පතට අනුව 2018 වසරේ රජයේ අපේක්‍ෂිත වියදම රුපියල් බිලියන 3982 කි. එම වසරේ අපේක්‍ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175 ක්‌ ලෙස ගණන් බලා ඇත.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 වසර සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයට පසුව වැඩි මුදලක්‌ වෙන්කර තිබෙන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහාය. එය රුපියල් කෝටි 22757 කි. මෙම වසරට (2017) මුදල් අමාත්‍යාංශයට රුපියල් කෝටි 53671 ක මුදලක්‌ වෙන්කර තිබිණි.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ලබන වසරේ රුපියල් කෝටි 18275 ක්‌ වෙන්කර ඇති අතර එය මෙම (2017) වසරට වඩා රුපියල් කෝටි 1935 ක වැඩිවීමක්‌ පෙන්නුම් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ලබන වසරට රුපියල් කෝටි 10288 ක්‌ වෙන්කර ඇත. එය මෙම වසරට වඩා රුපියල් කෝටි 2594 ක වැඩිවීමකි.

ලබන වසරේ සෞඛ්‍ය හා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 17839 කි. එය මේ වසරේ රුපියල් කෝටි 16097 කි.

ලබන වසරේ ජනාධිපතිවරයාගේ වියදම රුපියල් කෝටි 998 කි. මෙම වසරේ එය රුපියල් කෝටි 645 කි.

අගමැතිවරයා සඳහා ලබන වසරේ ගණන් බලා ඇති වියදම රුපියල් කෝටි 177 කි. මේ වසරේ එය රුපියල් කෝටි 125 කි.

මීට අමතරව 2018 විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ කිහිපයකට වෙන්කර තිබෙන මුදල මෙසේය.

මැතිවරණ කොමිසම සඳහා රුපියල් කෝටි 631 කි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 581 කි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් කෝටි 4213 කි.

කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 300 කි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1124 කි.

සමාජ සවිබල ගැන්වීම, සුබසාධනය හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය සඳහා ලබන වසර වියදම රුපියල් කෝටි 1857 කි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 18562 කි.

ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් කෝටි 542 කි.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 97 කි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 908 කි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 775 කි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වියදම රුපියල් කෝටි 21821 කි.

මහවැලි සංවර්ධන හා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලබන වසරේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 254 කි.

නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 8289 කි.

කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍යාංශයේ වියදම රුපියල් කෝටි 523 කි. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ වියදම රුපියල් කෝටි 1088 කි.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වියදම රුපියල් කෝටි 2463 කි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ අඩුම මුදලක්‌ වෙන්කර තිබෙන්නේ විශේෂ කාර්යභාර අමාත්‍යාංශයටය. එය රුපියල් කෝටි 10 කි.

මෙම අපේක්‍ෂිත වියදම පියවා ගන්නා ආකාරය පිළිබඳ යෝජනා ඇතුළත් අයවැය වාර්තාව නොවැම්බර් 09 දා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

RSL

Related Posts