සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීමට නියමවේ

Spread the love

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීම සඳහා මිල ගණන් කැඳවීමට පියවර ගන්නා ලෙසත්, ඒ  සඳහා වන මිල ගණන් කැඳවන දැන්වීම් මෙම දෙසැම්බර් මස 05 වැනි දිනට පෙර පළ කරන ලෙසත් එම ව්‍යාපාරයෙහි වත්කම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ලක්ෂ්මන් වටවල කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) නියෝග කළේය.

රාජගිරියෙහි පිහිටි ගෝල්ඩන් කී (උගුර කණ නාසය පිළිබඳ) රෝහල සහ නාරාහේන්පිට පිහිටි ළමා රෝහල මෙලෙස මිල ගණන් කැඳවිය යුතු අනෙකුත් ආයතන වේ.

ඒ අනුව මෙම දේපළ විකිණීමට  නියමවූ අතර එම ගැණුම්කරුවන් තෝරා ගැනීම සහ දේපළ පැවරීමේ කටයුතු මාසයක කාලයකදී අවසන් කරන ලෙසද වටවල කමිටුවට නියම කරන ලදී.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සමාගම් කිහිපයක මුදල් තැන්පත්කර ඇති තැන්පතු කරුවන්ට උපරිම මුදලක් ආපසු ගෙවීම සඳහා අරමුදල් තර කර ගැනීමේ අරමුණින් මේ ආයතන ඉහළම මිලක් නියම කරන ගැනුම්කරුවන්ට ලබා දිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කෙළේය.

මෙලෙස මුදල් ආපසු ගෙවීම සඳහා වන කටයුතු ලබන 2012 වසරේ ජුනි මස 30 වැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන ලෙස ඒ සඳහා සහාය වන ලෙස අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් ලිමිටඩ් ඇතුළු සමාගම් කිහිපයක දේපළ, වත්කම්, හෝ කොටස් අලෙවිකිරීම සහ පැවරීම අත්හිටුවමින් මීට දී තිබූ අධිකරණ නියෝගය ලිහිල් කරමින් වෙනස් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම කොටස් වෙනත් අයට අලෙවි කිරීම සහ පැවරීම කළ හැකි බව ප්‍රකාශ කෙළේය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමෙහි සහ සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් ලිමිටඩ් සහ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කිහිපයක මුදල් තැන්පත් කළ පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ;දකක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග කෙළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුල්‍ය මණ්ඩලය, සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කිහිපයක්, එහි සභාපති ලලිත් කොතලාවල ඇතුළු පිරිසක් පෙත්සම්වල වග උත්තරකරුවෝ වූහ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග කේ. ශ්‍රී පවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

මෙම පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග අනුව සකස් කළ වාර්තා කිහිපයක් වටවල කමිටුව අධිකරණයට ඉදිරිපත් කෙළේය.

වටවල කමිටුවෙහි කටයුතු වලට සහය වීම සඳහා වෙනම ලේකම් කාර්යාලයක් පිහිටුවන ලෙස මහබැංකු අධිපතිවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතාට උපදෙස් දුන්නේය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් 137ක් මේ වන විට පවතින බවත් ඒ අතුරින් ලාභ ලබන සමාගම්වල දායකත්වය තැන්පත් කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා පිහිටුවා ඇති අරමුදල තර කරගැනීමට යොදා ගත හැකි බවද විනිසුරු මඬුල්ල මෙහිදී ප්‍රකාශ කෙළේය.

සෙලින්කෝ ශ්‍රී රාම් සමාගමෙහි තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය සකස් කළ ලිපි තැන්පතු කරුවන් පන්දහස් හත්සිය හැට හත්දෙනකු වෙත තැපැල් මගින් යැවීමට කටයුතු කරන ලෙස නියම විය. ඒ සම්බන්ධ තැන්පත් කරුවන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමට මාසයක කාලයක් ලබා දිය යුතු බව නියම විය.

මෙම පෙත්සම් පෙබරවාරි මස 02 දින කැඳවීමට නියම කෙරිණි.

RSL

Related Posts