ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මාලදිවයිනට පැන යාමට ඉන්දියාව සහය දුන් බවට වන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

Spread the love

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්වය හමුවේ ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දිවයිනෙන් පලායාමට තම සහයක් ඇතැයි යන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බදාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට ඉන්දියාව පහසුකම් සලසා දුන් බවට පළවන පදනම් විරහිත මාධ්‍ය වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව සහය දක්වන බව යළිත් අවධාරණය කරනවා යැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ජනපතිවරයා සිය බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ මාලදිවයිනට පියාසර කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කළේය යැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

එමෙන්ම ගෝඨාභය සහ ඔහුගේ බිරිඳ එරට වේලාවෙන් අලුයම 03.00 ට පමණ මාලදිවයිනේ අගනුවර වන මාලේ වෙත ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගොස් පැය කිහිපයකට පසු දිවයින පුරා මහජන විරෝධතා මතුවීමත් සමඟ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

වැඩෙන විරෝධතා පාලනය කිරීම සඳහා කොළඹ ඇතුළු දිවයිනේ බස්නාහිර පළාත පුරා දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා ඇත.

මාධ්‍ය වාර්තාවලට අනුව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස අගමැති වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.

අකාර්යක්ෂම ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂවරුන්ට දෝෂාරෝපණය කරයි.එමෙන්ම ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ඇද වැටී ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts