රු. කෝටි 100,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා මුදල් කාරක සභාවේ අනුමැතිය

Spread the love

දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත  රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා  මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර  පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් එම රැස්වීම සදහා රාජ්‍ය නිලධාරීන්  මාර්ගස්ථ ක්‍රමවේදයට (Online) අනුව සම්බන්ධ කරගැනීම සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන්  වන   ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුප පැස්කුවල් , මහාචාර්ය රංජිත් බණ්ඩාර,  නලින් ප්‍රනාන්දු සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට  සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර  ලේකම් එස් .ආර් ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාව වන රු. බිලියන 2000 ක අගය රු. බිලියන 3000 දක්වා වැඩිකිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි. එසේම එම මුදල ඉදිරි මාස 06 තුළ වියදම් කරන බව ඉන් අදහස් නොවන බවත්  පාර්ලිමේන්තුව අනුමත කළ ණය ගැනීමේ සීමාව තුළ මේ සියල්ල කළමණාකරණය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පසුගිය ජූනි 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රෙගුලාසි ද්විත්වයක් සදහා ද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන සදහා බදු සහන ලබාදී ඇති පසුබි‍මක බොහෝවිට එම අවස්ථාව අවභාවිත කරන බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කරුණු දක්වමින් කාරක සභාවට පැහැදිළි කර සිටියේය.

විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන ඉන් අනතුරුව සාමාන්‍ය වාහන ලෙස භාවිත කරන බව මේවන විට හදුනාගෙන ඇති බැවින්  එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව ලේකම්වරයා මෙහිදී  පෙන්වා දුන්නේය. පසුගිය වසර තුළ පමණක් අධිශීතකරණ සහිත ලොරි රථ (Freezer trucks) 947 ක් මෙරටට ආනයනය කර  ඇති බව ද ඒවා බොහෝමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්‍ය ලොරි ‍රථ ලෙස  භාවිතකරන බවට තොරතුරු වාර්තා වන බවද ආටිගල මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව මෙම රෙගුලාසි මගින්  අදාළ බදු මුදල් සංශෝධනයට පියවර‍ ගෙන ඇත.

මෙරටට මාජරින් ගෙන්වීමේ ක්‍රමවේදය තුළද මෙලෙස යම් යම් තාක්ෂණික කාරණා මත බදු මුදල් අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව කාරක සභාවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඉදිරියේදී නව ක්‍රමවේදයක් යටතේ මෙය සිදුකිරීමට  අපේක්ෂා කරන බව මෙහිදී   මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට  පැවසීය.

මේවන විට රට ආර්ථික ගැටලුවක ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා සිටියේය. පවතින  තත්ත්වය තුළ යම් ආර්ථික ගැටලු මතුවුවද ඒ සියල්ල මනා ලෙස කළමණාකරණය කිරීම සදහා  හැකි උපරිමයෙන් කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

තවද අතුරුදහන්වූවන්ගේ කාර්යාල‍යේ සභාපතිවරයා ඇතුළු  සාමාජිකයන් සඳහා වැටුප් සහ දීමනා වැඩි කිරීමේ  යෝජනාව නිසිපරිදි හේතු නොදැක්වීම හේතුවෙන් පසුගිය කාරක සභාවේදී ප්‍රතික්ෂේප වුවද අදාළ හේතු සලකා බැලීමෙන් අනතුරුව ඊයේ පැවති කාරක සභාවේදී ඊට අනුමැතිය හිමිවිය. 

Related Posts