බබා හම්බවෙයිද ?

Spread the love

හයිවේ එක විවෘත කරන්න ගිය ජනාධිපතිතුමා සිය පවුල පිටින් පින්නදූවෙන් ජීප් එකකට නැග්ගේය. පින්නදූව එන්ට්‍රන්ස් එකේ පොරක් ඇවිත් ජනාධිපතිතුමාට ටිකට් එකක් දෙන්න හැදුවේය. හයිවේ එකේ යන්න අය කරන එක ගැන ඒ හැටි ගනිච්චියක් නොතිබුනු ජනාධිපතිතුමා ටිකට් දෙන්න ආ මෑන්ගෙන් මේ මොකක්ද කියා ඇසුවේය. යන දුර අනුව ගෙවන්න ඕනනේ සර් කියූ ඒ මෑන් සර් කොච්චර දුරක් යනවද කියා ඇසුවේය. ජනාධිපතිතුමා කීවේ යන දුර ගැන දැන්ම කියන්න බැහැනේ කියාය. අනතුරුව හිනා වී ගොඩෝ ලෙහෙසියෙන් එන්නේ නැහැ කියූ එතුමා හැබැයි ඉතින් ගොඩෝ ආවොත් ලෙහෙසියෙන් යන්නෙත් නෑ කියාද කීවේය. ජනාධිපතිතුමා කියන ගොඩෙක් ගැන දැන නොසිටියත් පින්නදූව හයිවේ පිවිසුමේ මෑන් නිකමට වගේ ඇසුවේ එතකොට සර් ගොඩෝ යන්නේ නැතුව මොකක්ද කරන්නේ කියාය. ජනාධිපතිතුමා කීවේ හී ඉස් වේටින් ෆෝ හිස් සනා කියාය.

හයිවේ එක හැදුවාට පසු පාර අයිනේ තියන් තැඹිලි, පොලොස් මැල්ලුම් උර වගේ දේවල් විකුණන්න හිතන් හිටි එවුන් මෙන්ම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න එවුන් ජනාධිපතිතුමාගේ මූණ කන්න වගේ පෝලිමේ පොදි ගැසී බලාසිටියහ. හයිවේ එකේ පෙට්‍රල් ෂෙඩ් එකක්වත් දැමීම ක්‍රිමිනල් කේස් එකක් බව ඒ කාටත් වැටහෙන විට හයිවේ එකත් හැදී බබාත් හම්බ වෙන්න ඔන්න මෙන්නය.කරන්නට කිසිම දෙයක් නැත. පින්නදූවෙන් හයිවේ එකට බට ජනාධිපතිතුමා ගෙදර කට්ටියත් දාගෙන ගමන ඇරඹීය. බත් දාන් කෑ හැකි සයිස් එකට හදා තිබුනු කිරි ටොයියා මාවතේ 100ට ගියොත් ලිස්සලා හොක්ක තලා ගන්න වෙන බව තේරුන ජනාධිපතිතුමා හෙමි හෙමින් ඉදිරියට ගියේය. මේ ඉබි ගමන ඉවසාගන්න බැරිව පිටුපස අසුනේ සිටි කාර් රේස් පදින පොරක් ජනාධිපතිතුමාට කතාකොට ඇසුවේ ඔයාට දැන් 100ට යන්න අමාරුම නම් මං වාහනය ගන්නම් කියාය. උඹ නිකන් පැහෙන්නේ නැතිව හිටපන් කියූ ජනාධිපතිතුමා මේ සේරම එවුන් ඇවිත් ඉන්නේ උඹ මේ හුචක්කුව එලවනවා බලන්න නොවේ, මං එලවන හැටි බලන්නැයි කියා රේස් කාරයාව කන්ඩෙම් කර දැම්මේය.

ජනාධිපතිතුමා තව ටිකක් දුර ඕනෑවටත් වඩා හෙමි හෙමින් එලවාගෙන ගියේය. කෙලගෙන කරන්දෙණි බලා යන්න ආපු තවත් එවුවෝ තම ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ ජනාධිපතිතුමාගේ පස්ස පැත්තේ තියන් කොට කොටා ගියෝය. ජනාධිපතිතුමාගේ වාහනයේ සිටි කාර් රේස්කාරයා කීවේ ලෝකයේ කිසිම හයිවේ එකක මේ වගේ කොට කොටා යන්න දෙන්නේ නැහැ කියාය. අනේ උඹ නාපන් කියූ ජනාධිපතිතුමා ලෝකයේ හැම එකාම කරන ඒවා කරනවා නම් අපෙන් වැඩක් නෑ කියා කීවේය. කාර් රේස් පොර කොක්කටම වගේ කීවේ රටේ මූලික ප්‍රශ්න එහෙම්මම තියෙද්දි හයිවේ හදන එක ලෝකයේ මොනම රටක්වත් කරන්නේ නැහැ කියාය. ජනාධිපතිතුමා කීවේ පසුගිය දවස්වල මාර සෙනඟක් රෑට රෑට හයිවේ එක බලන්න කහතුඩුවට ආවේ මේකත් උන්ගේ මූලික අවශ්‍යතාවයක් නිසා කියාය. මිනිස්ටර්ස්ලා නම් කීයටවත් ඔහොම කොට කොටා යන එකක් නැහැ කියූ කාර් රේස්කාරයාට ජනාධිපතිතුමා කීවේ උන් නම් සාමාන්‍ය පාරක යන්නෙත් හයිවේ එකක යනවා වගේ තමයි කියාය.

ගිනි නිවීමේ අවශ්‍යතාවයක් ඇති උනොත් යම් අංකයකට වහා අමතන ලෙස පිවිසුම් දොරටුවේ උපදේශයක් ලැබුන අතර ජනාධිපතිතුමා වාහනය එලවන ගමන් නිකමට වගේ ඒ අංකයට ඩයල් කලේය. මොහොතක් ගියේ නැත. හතරවටින් සයිරන් නලා හඩ ඇසෙන්නට වූ අතර ජනාධිපතිතුමා බිරන්තට්ටු වූයේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමක්දෝයි කියන සැකයෙනි. එදත් ඉරිදාවකි. අදත් ඉරිදාවකි කියා වටපිට බැලූ එතුමාගෙන් ලගටම පැමිණි ගිනි බටයෙකු ගරු සරු ඇතුව ඇසුවේ ඇයි සර් මොකක් හරි ට්‍රබල් එකක්ද කියාය. ජනාධිපතිතුමා හිනා වී කීවේ නැහැ ෆයර් බ්‍රිගේඩ් එක කොච්චර ක්වික්ද කියලා බලන්න හිතුනා ඒකයි ඩයල් කලේ කියාය. ගින්නෝ කරන්න දෙයක් නැතිකමට ඕකේ සර් කියා යළිත් වාහනවලට නැග පිඹගෙන ගිය අතර කාර් රේස්කාරයා කීවේ නිකම් පයිත්තියම් වැඩකරන්න එපා කියාය. ජනාධිපතිතුමා හෙමින් හෙමින් එනකොට ඉබ්බෝ රංචුවක් එතුමාගේ වාහනය පසුකරගෙන ගියේය. හායි ඉබ්බලා ……… හයිවේ එක නිසා උඹලටත් දැන් පැයෙන් ගාලු යන්න චාන්ස් එකක් ලැබුනා එහෙනම් කී ජනාධිපතිතුමාගෙන් ඉබ්බෙකු යමින් ගමන් ඇසුවේ එල් ආර් සී එකේ රිපෝට් එක එලියට දාන්නේ කවදාද කියාය. දුවපිය පිට පලා නොගෙන කියා බැණ වැදුනු ජනාධිපතිතුමා මේකේ ඉන්න මිනිස්සුවත් අහන්නෙ නැති ඒවා මුන්ට මොකටද කියා ජනේලයෙන් බෙල්ල දමා ඉබ්බටන්ට දෙස්ස කැපුවේය. එක ඉබ්බෙකු ජනාධිපතිතුමා පසුකරන් යන ගමන් ලංවී ඇසුවේ ඔට්ටු තියලා අපි දුවමුද කියාය. ඒකා, හැබැයි හාවෝ මට ඉස්සර වෙන්න දෙනවද කියා කලින් ජනාධිපතිතුමා කීවේ එහෙනම් උඹලත් 18වෙනි සංශෝධනය වගේ එකක් සම්මත කරගෙන ෆේස් ටු ෆේස් වරෙල්ලා කියාය. ඉදිරි අසුනේ සිටි ශිරන්ති නෝනා බැරිම තැන කීවේ ඉබ්බොත් එක්ක ෆයිට් කරන්න යන්න එපා, අයවැයේදී රිඇක්ට් කරන්න ගිහින් පාර්ලිමේන්තුවෙත් අල උනා මතකයිනේ කියාය. අන්තිමට ආපු ඉබ්බගේ පිටේ හොඳට ෆිසික්ස් දන්න පොරක් හිටියේය. ඒ මෝහන් ලාල් ග්‍රේරු. මිනිහ ඉබ්බාගේ පිටේ නැගි අධ්‍යාපනයට යමක් කරන්න මාන බලමින් සිටි අතර විදි ක්‍රම ගණනාවකින් අනතුරුව හෙතෙම මුල්වරට “පියෝ ෆිසික්ස් “ සොයාගත්තේය.

ජනාධිපතිතුමා කරන්දෙණියේ පැවති හයිවේ එක විවෘත කිරීමේ උත්සව භූමියට ලගා වූයේය. එතුමා ජීප් රියෙන් එළියට බස්සේ වාහන ආරක්ෂක බඳ පටියද නොගලවාය. පුතයාගේ හැටි දන්න නෝනා වාහනය ජනාධිපතිතුමාගේ පිටකොන්ද හරහා පාසල් බෑගයක් පරිදි වැටෙන්නට පෙර වම්පස දොර ඇරගෙන බිම බැස්ස අතර පිටුපස සිටි රේස් කාරයෝ, රගර් කාරයෝ සහ චිත්‍ර කාරයෝ දඩ බඩ ගා ජනේලවලින් බිමට පැනගත්හ. එතුමා පින්නදූවේ සිට පැමිණි ජීප් රථයත් පිටකොන්දේ එල්ලාගෙන වේදිකාව අසලට කිට්ටු වූ අතර වේදිකාව මත ටිකක් පිටුපසට වන්නට මේ ජනාධිපතිතුමාට වඩා පත ජනාධිපති කෙනෙක් වැඳගෙන සිටියේය. ජනාධිපතිතුමා වේදිකාවට ගොඩවූයේ ආ මටත් කලින් ජනාධිපතිතුමා ඇවිදින්ද කියා අසාගෙනය. ඒවන විටත් පත ජනාධිපති යටින් රත්තරන්, ෂාන්, අමරවීර, ලක්ෂ්මන් යාපා, නිර්මල වැනි ඇමතිවරු පෙළගැසී සිටියෝය. ඇමතිවරු ගැන පොඩි විචිකිච්ඡාවක් ඇති කරගත් ජනාධිපතිතුමා මඳක් වටපිට බලා පත ජනාධිපතිගෙන් ඇසුවේ වීරවංශ හයිවේ එක ගැන අමුතු බතක් බෙදලා තිබුනා ආරංචිද කියාය. හයිවේ එක හින්දා එකම වත්තේ හිටපු නෑදෑයෝ සදාකාලිකව දෙපැත්තට වෙනවා කියන එකද කියා ඇසූ පත ජනාධිපති ඒ වෙන්වීමේ පොඩි හොඳකුත් තියෙනවා කියා කීවේය. ඒ මොකක්ද කියා ඇසූ ඇත්ත ජනාධිපතිට පතයා කීවේ එකම වත්තේ ඉන්නකොට කැඹිරිමේ වගේ කිසි දියුණුවක් නැතත් දෙපැත්තක උන්නද මලාද නැතුව ඉන්නකොට වෙන වෙනම දෙගොල්ලන්ටම දියුණු වෙන්න පුලුවන් කියාය. දැට්ස් රයිට් කී ඇත්ත ජනාධිපතිතුමා කැබිනට් එකේදී ඕක එක්ස්ප්ලේන් කරන්න තිබුනා කෝ මෑන් මේ දවස්වල කැබිනට් එකටවත් පාරේ නැහැනේ කියා කීවේය. ණය කන්දක් උඩ ඉන්න අපිට හයිවේ බෙරු වියදමක් කියා වීරවංශ කියලා තිබුනා නේදැයි ඇසූ පත ජනාධිපතිතුමා සාමූහික වගකීම බින්දාට මෑන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න වෙනවා කියා කීවේය. ඇත්ත ජනාධිපතිතුමා කීවේ ඒක නම් ලොකු දෙයක් ඔය සමහර දේවල් ගැන මටත් මොකුත් කරන්න බැරුවයි ඉන්නේ කියාය. මේ සංවාදය යන වෙලේ ලග හිටපු ඇමතිවරු සෙට් එකට පතයා කවුද ඇත්ත එක්කෙනා කවුද කියා නිශ්චය කරගැනීමට නොහැකි වූ අතර ඔවුහු දෙපැත්තටම හැරී ඔව් සර් , ඕකේ සර් වැනි දේවල් කියමින් සිටියහ. හයිවේ එකේ බල්ලෝ ඉන්නවාද කියා ඇසූ පත ජනාධිපතිතුමාට ඇත්ත එක්කෙනා කීවේ එහෙත් හරි බල්ලෝ මෙහෙත් හරි බල්ලෝ කියාය. ඒ කියන විටම පත ජනාධිපතිතුමා යටටවී සිටි ඇමතිවරු වටපිට බැලූහ. හයිවේ එකේ බල්ලන්ට දැලක් දාලා තියෙනවා නම් බල්ලෝ එන්නේ කොහොමද කියා පත ජනාධිපතිතුමා ඇසූ අතර ඇත්ත ජනාධිපතිතුමා කීවේ දැල් මොනවද අපේ ගෙදර ලොකු තාප්පයක් දාලා තියෙද්දිත් ඔය ඕන තරම් එන්නේ කියාය.

ජනාධිපතිතුමා හයිවේ ඕපනින් එකේ දෙසුම පටන් ගත්තේය. එතුමා කීවේ මං ඔයාලාගේ හීන සැබෑ කරනවා කියාය. පත ජනාධිපතිතුමා අනෙක් පැත්තෙන් කතාව අරඹමින් කීවේ මං ඔයාලගේ සැබෑව හීනයක් කරනවා කියාය. ඒ වෙලාවෙම විදුලි කෙටුවේය. පරිසරය හීතල උනේය. ඇත්ත ජනාධිපතිතුමා හා පත ජනාධිපතිතුමා එකට මුසුවී බොඳ වෙලා ගියෝය.

විමලනාත් වීරරත්න උපුටා ගැනීම රාවය පුවත්පතෙනි.

RSL

Related Posts