පිටරැටියන්ගේ සංවර්ධනය දෙස බලා සුසුම්‍‍ හෙළන්නට ඉඩ තබන්නේ නැහැ – ජනපති

Spread the love

අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුරට‍ ලොව වෙනත් රටවල සංවර්ධනය දෙස බලා සුසුම් හෙළන්නට ඉඩ නොතබන බවත් ඔවුන්ගේ බොහොමයක් සිහින මේ වන විටත් සැබෑ කර දෙන්නට වත්මන් රජයට හැකි වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද(27) දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමී ව කරන්දෙනියේ පැවැති ජන හමුවට සහභාගි වෙමිනි.

දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරුණු නොවැම්බර් 27 දිනය ශ්‍රී ලාංකිකයින්ට සතුට දනවන කාරණයක් බවත් මහා මාර්ග වංශ කතාවේ නවීනත්වයේ පිටුවක් පෙරළමින් විවෘත වන අධිවේගී මාර්ගය අධිවේගයෙන් රට නවීකරණයට දියත් කරන වැඩපිළිවෙළක ඇරඹුමක් බවත් පැවසීය.
දකුණු කොළඹ පමණක් නොව ඉදිරියේ දී උතුර කොළඹ යා කරමින් ඒ-9 මාර්ගය හරහා ද අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට රජය කටයුතු කරන බවත් කීය.

‘මේ රටේ විශාල වරායක් හදලා ඉවරයි. ඉදිරියේ දී ගාල්ලෙත් තවත් වරායක් හදනවා.  නිදහසින් පසුව හදන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට මත්තල ඉදිවෙමින් පවතිනවා. ඒ පළාත ම අපනයන ගම්මාන සංචාරක කලාපයන් වෙලා. මේ වන විට සංචාරකයින් 7,50,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණිලා තිබෙනවා. මෙසේ විවෘත වන මාර්ග එම කර්මාන්තයන්ට ආශිර්වාදයක්. නිෂ්පාදන එහාට මෙහාට ගෙනියන්න ඉක්මනින් මුදල් කරන්න පුළුවන් වෙනවා මේ හරහා’.


කොළඹට පමණක් සීමා වී තිබු කර්මාන්ත මේ වන විට රට අභ්‍යන්තරය කරා විහිදෙමින් පවතින බවත් එය තව තවත් වර්ධනය වීම සඳහා වැඩි කාලයක් නොයන බවත් සඳහන් කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ඒ හරහා තරුණ තරුණියන් විරැකියාවෙන් රැකියාවකට මාරු වීමට බලා සිටින බව ද ප්‍රකාශ කළේය.

තරුණ තරුණියන් සංවර්ධනයේ ප්‍රතිඵල නෙළා ගැනීමට සුදානමින් මෙන් ම අධිවේගී මාර්ගය හරහා නවීන ලෝකයට ඇතුළු වීමටත් ඒ ඔස්සේ එන්නා වු ව්‍යාපාරයන් කිරීම තරුණ පරපුරේ යුතුකමක් බවත් ඒ සඳහා මඟ පෙන්වීම රජයේ යුතුකමක් බව ද කියා සිටියේය.
මාර්ගය ඉදිකිරීමේ කටයුතු සඳහා ඉඩම් ලබා දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඔවුන් ඉහළ මිලක් මෙන් ම ඉතිරි බිම් සඳහා ද ඉහළ වටිනාකමක් ලැබී ඇතැයි ද ඉඩම් මිල ඉහළ යාම තම මාතෘ භූමියේ මිල ඉහල යාම බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉදිරි මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 12,300ක් පමණ වෙන් කොට ඇතැයි ද කීය.


ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් නොවන බව මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කොට අවසන් බවත් විදුලිය, මාර්ග පමණක් නොව නවීන තාක්ෂණය ද මේ වන විට දුෂ්කර ගම්බිම් දක්වා ගමන් කොට ඇති බවත් එපමණක් නොව රට සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා රජය පමණක් නොව පෞද්ගලික අංශයත් අභියෝග ජයගත යුතු කාලය එළැඹ ඇති බව කී ජනාධිපතිතුමා අධිවේගී මාර්ගය සඳහා පිවිසෙන සෑම දෙනාටම තමා සුබ පතන බවත් මේ සඳහා සියලු අයුරින් සහය වූ සැමට සිය ස්තූතිය පුද කරන බවත් පැවසීය.

RSL

Related Posts