නිරෝෂන් පාදුක්ක විවාදයකට එන්නැයි ග්‍රේරුට අභියෝගය කරයි

Spread the love

රාජ්‍ය මාධ්‍ය හැර වෙනත් ඕනෑම රූපවාහිනී මාධ්‍යයක විවාදයකට එක්වන ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.

තමන් ආණ්ඩු පක්ෂය සමග එක්වූයේ අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් බවට ග්‍රේරු මහතා සඳහන් කර ඇති ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක මහතා මේ බව සඳහන් කළේය.

පසුගියදා ආණ්ඩුවට එක්වූ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා, ආණ්ඩුවට එක්වූයේ ලාභ ප්‍රයෝජන සහ වරප්‍රසාද වෙනුවෙන් බවත්, ඒ බව තහවුරු කිරීම සඳහා මෙසේ ඔහු සමග විවාදයකට එක්වීමට සූදානම් බවත් පාදුක්ක අවධාරණය කළේය.

අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම විවාදයේ මඩ, චරිත ඝාතන, පෞද්ගලික ජීවිතය පිළිබඳ අපහාස නොමැති බවත්, මොහාන් ලාල් ග්‍රේරු මහතා එජාපය අතහැර ආණ්ඩුවට එක්වූයේ කුමක් සඳහාද යන මාතෘකාව පිළිබඳව පමණක් කතාකරන බවත් හෙතෙම කියා සිටියේය.

මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ක්‍රියාදාමයේ පවතින අවලංගුභාවය පිළිබඳව ඔප්පු කිරීමට තමන් සූදානම් බවද පාදුක්ක මහතා අවධාරණය කළේය.

සිය අරමුණ ඉටුකරගැනී‍ම වෙනුවෙන් මොහාන් ලාල් ග්‍රේරු මහතා එක්සත් ජාතික පක්ෂය ඉනිමගක් ලෙස භාවිත කළ බවත්, අද ඔහු එම ඉනිමගට පයින් ගසා ඇති බවත් හෙතෙම චෝදනා කළේය.

RSL

Related Posts