තරුණයනි, ප්‍රචණ්ඩත්වය පිටුදකින්න – සත්ජෙහාන් සරචන්ද්‍රන්

Spread the love

නැෂනල් පෝස්ට් වාර්තා කරන ආකාරයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ගණුදෙනුවල නිරතවූ දමිළ තරුණයකු තම සහෝදර දමිළ තරුණයන්ගෙන් යම් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එනම් සැමවිටම ප්‍රචණ්ඩත්වය පිටුදකින ලෙසත් එල්ටීටීඊයේ අන්තවාදී පරමාදර්ශයන් අතහැර, සාමය වැළඳ ගන්නා ලෙසත්ය.
එල්ටීටීඊය වෙනුවෙන් ඩොලර් මිලියනයක අවි ආයුධ ගණුදෙනුවක මැදිහත්වීම නිසාමීට වසර පහකට පෙර සිරගත වූ කැනේඩියානු දෙමළ ජාතිකයෙකු වන මොහු නමින් සත්ජෙහාන් සරචන්ද්‍රන් වන අතර ඔහුගේ වයස අවුරුදු 31 කි.
මේ වන විට නිව්යෝර්ක්හි බන්ධනාගාරයක වසර 26ක සිරදඬුවමක් විඳිමින් සිටින බව වාර්තා වේ. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ බන්ධනාගාරයේ සිට ලියන ලද විවෘත ලිපියක් මාර්ගයෙනි. තමා සිදුකළ වැරදි අනෙක් තරුණයින් සිදු නොකළ යුතු බව කියා සිටින සරචන්ද්‍රන්, තමාගේ ප‍්‍රධානත්වයෙන් ටොරොන්ටෝහි කි‍්‍රයාත්මක වූ තරුණ සංවිධානය එල්ටීටීඊයට සම්බන්ධව කටයුතු කළ බව පළමු වරට පිළිගෙන තිබේ.
දෙමළ ප‍්‍රජාවේ නායකයින් යැයි කියන පුද්ගලයින් විසින් තමන් නොමඟ යවා, වෛරය හා පළිගැනීමට පොළඹවා, අවිහිංසාවාදය පිළිපදින්නන් නිහඬ කළ බවට වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වූ ඔහු චෝදනා කොට ඇත.
අගෝස්තු 09 වැනිදා ලියා ඇති එම ලිපිය ඔන්ටාරියෝහි පිහිටා ඇති යුද්ධයේදී සිරගතවූවන්ගේ ඥාතීන් විසින් පිහිටුවාගත් සංවිධානයක වෙබ් අඩවියේ පළකොට තිබේ. ඔහුගේ පියා වන, එම සංවිධානයේ ප‍්‍රකාශක සරචන්ද්‍රන් ෂන්මුගම් කියා ඇත්තේ, ප‍්‍රචණ්ඩත්වයට නොපෙළඹී, යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වන්නැයි වන විවෘත ලිපියක් තම පුත‍්‍රයා ඉදිරිපත් කොට ඇති බවයි.

RSL

Related Posts