ජනපති බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයට ඉන්දුනීසියාවට යයි

Spread the love

ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන IV වැනි බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය (The Bali Democracy Forum–BDF) ඇමැතීම සඳහා ඊයේ(07) පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා දූත පිරිස ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00ට පමණ ඉන්දුනීසියාවේ බාලි නූරා රායි (Bali Ngurah Rai) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූහ.

ඉන්දුනීසියාවේ තරුණ හා ක‍්‍රීඩා කටයුතු අමාත්‍ය අන්දි මලරන්ගන් (Andi Mallarangeng) මහතා, බාලි පළාත් ආණ්ඩුකාරතුමන්, ත‍්‍රිවිධ හමුදා හා පොලිස් ප‍්‍රධානීන් සහ ඉන්දුනීසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සහ එම කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගන්නා ලදී.

මෙවර IV වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයේ තේමාව වන්නේ “වෙනස් වන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රීය සහභාගීත්වය වර්ධනය කිරීම : ප‍්‍රජාතන්ත‍්‍රික හඬට ප‍්‍රතිචාරාත්මක වීම” (Enhancing Democratic Participation in a Changing World: Responding to Democratic Voices) යන්නයි. එමෙන් ම ප‍්‍රජාතන්තී‍්‍රය හඬට අදාළ කරුණුවලට ප‍්‍රතිචාරාත්මක වෙමින් ජනතා සහභාගීත්වය වැඩි කිරීමට මෙවර සංසදයේ දී උත්සාහ කෙරේ.

ආසියා හා ශාන්තිකර කලාපයේ හවුල්කාර රටවල් 54 ක සහභාගීත්වයෙන් පවත්වනු ලබන IV වැනි බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයට මෙවර රාජ්‍ය නායකයින් 09 දෙනෙක් සහ රාජ්‍ය නියෝජිතයින් රැසක් සහභාගීවීමට නියමිත ය. මීට අමතර ව රටවල් හා සංවිධාන 66ක නියෝජිතයින් නීරීක්‍ෂකයින් මට්ටමින් සහභාගී වනු ඇත.

දූපත් 17,508කින් සැදුම්ලත් ඉන්දුනීසියානු ජනරජයේ සංචාරක පුරවරය ලෙස සැලකෙන බාලි දූපත, බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයේ කේන්ද්‍රස්ථානය වී ඇත. වර්ග කි.මී. 5,632කින් යුත් බාලි දූපතේ ලක්‍ෂ 40ක ජනගහනයක් වාසය කරන අතර, ඉන් 93%ක් ම හින්දු භක්තිකයින් වීම විශේෂත්වයකි. සංචාරක කර්මාන්තය ප‍්‍රධාන ස්ථානයක් ගන්නා බාලි දූපත ඉන්දුනීසියාවේ ධනවත්ම කලාපය වශයෙන් සැලකේ.

RSL

Related Posts