තරුණ ජනමාධ්‍යවේදියෝ විරෝධය පළ කරති

Spread the love

YJAප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සම්බන්ධ නඩු විභාගය අවස්ථාවේ දී හෝමාගම අධිකරණයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. පහත පළවන්නේ එය යි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැණ වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම හා අධිකරණ රාජකාරිවලට බාධා කිරීම ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට දැඩි සේ හෙළා දකිමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව අනුව ඕනෑම පුරවැසියකුට යම් මතයක් දැරීමේ, සිතීමේ හා හෘදය සාක්ෂියේ නිදහසට හිමිකමක් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහසට, ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වන අවදියේ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදියෙකි. ඊට පෙර සියරට පුවත්පතේ කර්තෘවරයකු ලෙස ද, යුක්තිය පුවත්පතේ හා ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජනමාධ්‍ය හැදුනුම්පත ඔහු සතු විය.

ඔහු අතුරුදන් වූ අවධියේ ‘එක්නැලිගොඩ කොටියෙක්‘ යැයි කිසිවකු චෝදනා කළේ නැත.

එක්නැළිගොඩ විදේශ රටක සිටිනා බවට හිටපු නීතිපතිවරයකු සහ දේශපාලනඥයන් කිහිප දෙනකු කියා තිබුණ ද එක්නැලිගොඩ කොටියකුයැයි කිසිවකු කියා නොතිබිණි. ඔහු එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ යැයි පිරිසක් කියන්නට ගත්තේ අතුරුදන්වීමට සැකපිට යුද හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත් පසුවය. ඔහු එල්ටීටීඊයට සම්බන්ධ බවට අද වන තුරු රහස් පොලිසිය හෝ අනාවරණය කර නැත.

එලෙස තිබිය දී එක්නැලිගොඩ මාධ්‍යවේදියා කොටියකු බව කියමින් අධිකරණ භූමියේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම බරපතල තත්ත්වක් මෙන්ම භික්ෂූත්වයට ද නිගා දෙන්නකි.

හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති නම් කළ යුත්තේ නීතිය අතට ගැනීම නොව නඩු විභාගයට මුහුණ දි තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමය.

අධිකරණයේ දී කිඹුහුමක් ඇරි පුද්ගලයාට මෙන්ම අධිකරණයක දී පුද්ගලයකුට තර්ජනය කරන පුද්ගලයාට ද නීතිය පොදුය. නීතිය පසඳලන ආයතනයක් තුළ දී ම මාධ්‍යවේදී එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කර බැණ වැදීම තරයේ හෙළා දකින අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර නියමාකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ ආයතනවලින් අපි ඉල්ලා සිටිමු.

මෙය එක්පුද්ගලයකුට සිදු කළ බලපෑමක් නොව සමස්ථ මාධ්‍ය සමාජයටම අනියමින් කළ තර්ජනයක් හා අපහාසයක් සේ සලකමු. එබැවින් මෙම සිද්ධියට හුදකලා සිද්ධියක් සේ සලකා කටයුතු කළහොත් ඉදිරියේ දී මාධ්‍ය ආයතනයකට කඩා වැදී හෝ මහමග දී හෝ නිවසක දී තවත් මාධ්‍යවේදියකුට හෝ පවුලේ සාමාජිකයකුට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම සිද්ධිය පිළිබඳ තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි රජයට බල කර සිටිමු.

ස්තුතියි

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

2016 ජනවාරි 27 වැනි දා

RSL

Related Posts