අපට මතක හැටියට විමල් වීරවංශ අතීතයේ එක්තරා දවසක දී ලියූ ලිපියක උධෘතය වූයේ වාසුදේව යනු කුමක් ද? යන්න යි. අතිශය කඨෝර ලියැවිල්ලක් බව සැක නැති එහි පස් පඩංගුවේ බැණ වැදුනු වාසුදේව සමඟ දේශපාලන වාසිය වෙනුවෙන් එක පතේ භක්ෂණය කරන විමල් ගැන ලියන්නේ මිනිසකු සිය දේශපාලන දිවිය තුළ මෙතරම් පරාභවයට යෑම නිදර්ශකයක් කොට ගන්නට ය.
හැරත්, අතිශය වාමාංශික රැඩිකල් මූලයකින් දේශපාලනයට ආ විමල් වීරවංශ!
ඔහු ජ.වි.පෙ. දේශපාලනයෙන් කරළිගත විය. ඒ ගැන ආලවට්ටම් ලියන්නට අපි නොකැමති ය. කෙසේ වෙතත්, 1989 මර්ධනයෙන් පසුව ජ.වි.පෙ. සිදු වූ පළමු සහ බලගතු ම ඛණ්ඩනය වූ සෙනෙවි ඇතුළු පිරිසගේ නික්ම යාමේ දී පක්ෂය හැරයන්නට ඔන්න මෙන්න සිට මැයි දින කතාව පවත්වා එන්නම් කියා නැවතුණු ඔහු එම හැර යාම 2008 දක්වා කල් තැබුවේ ය. එසේ නැවතුණු විමල් ජ.වි.පෙ. දේශපාලන නායකත්ව හිණිමගේ ඉහළට ම නැංගේ ය. පක්ෂයේ විලාසිතාවක් බවට පත් වූයේ ය. ජ.වි.පෙ විසින් උපක්‍රමයක් යැයි සිතා ගොඩනගන ලද පසුව ජ.වි.පෙ.ට ම පාරා වළල්ලක් වූ ජාතිකවාදී ධාරාව නියෝජනය කරවනු ලැබුවේ ද විමල් හරහා ය. ගුණදාස අමරසේකරගේ කර මතට පය තබා බලය ලබන්නට පෙරුම් පිරූ ජ.වි.පෙ. හීනය, රටේ ද හීන බිඳ දමන ක්‍රෑර පාලනයකට මුල්ගල තැබුවේ ය. එහි දී ජ.වි.පෙ. හළමින් ජ.වි.පෙ. විසින් ම නිර්මාණය කර දුන් ගමන් මගේ ඉදිරිටයටම ගිය විමල් රජ ගෙයි මහ බිතක්කනේ නතර විය. මේ සිදුවීමට අදාළව ජ.වි.පෙ. ඉටු කළ කොටසක් ඇත. එහි වගකීමෙන් මිදෙන්නට ජ.වි.පෙ.ට ද හැකියාවක් නැත.
වාම දේශපාලනයේ නිරත වූවන්, දක්ෂිණාංශයට යෑමේ දී උත්පත්ති දක්ෂිණාංශිකයන්ට වඩා මහත් අගතිගාමීවන බව ප්‍රකට කරුණකි. විමල්ගේ පරාභවය ද එය සනාථ කරන එක් අවස්ථාවකි. මහින්දගේ බිතක්කනෙහි ලැග්ම වෙනුවෙන් දේශප්‍රේමය සහ බටහිර කුමන්ත්‍රණ නිතොරව අලෙවි කළ විමල්, සිය පැවැත්ම සහ එය තහවුරු කරවාලන සාධකය වූ ජාතික නිදහස් පෙරමුණ නැමති පක්ෂ කඩමාල්ල නඩත්තු කරනු ලැබුවේ ද එයින් තෑගි ලද ඇමැති ධුරයෙනි. එනම් ජනතාවගේ මුදල් වලිනි. ජ.වි.පෙ. කැටවලට සල්ලි එකතු කර ජනත මුදල් හොයනවා මෙන් ම මෙය ද අතිශය ජනතාවාදී යැයි විමල් සිතනවා ඇත. රු.4000ක කෑම පිඟන් බිල් දමා ගසාකන ලද මුදලින් ජාතික නිදහස් පෙරමුණ නඩත්තු කර ඇති බව සහ දේශපාලන මණ්ඩලයට පිං පඩි ගෙවා ඇති බව ඔප්පු වී හමාර ය.
විමල් වීරවංශගේ පරාභවයේ තරම වටහාගන්නට සරිලන අපූරු සිදුවීමක් පසු ගිය දා සිදු වූයේ ය. තම පැවැත්ම වෙනුවෙන් ජාතිකවාදයේ නායකත්ව කාරකාදීන් පමණක් නොව අන්තේවාසිකයන්, සිඟන්නන්, පුළන්නන් පවා ඔහුට සාධාරණීකරණය කරන්නට සිදු ව ඇති බව මෙම සිදුවීම මොනවට පැහැදිලි කරයි.
පසුගිය රජය සමයේ අලි පැටවුන් ජාවාරම් කිරීම ප්‍රසිද්ධ රහසක් ලෙස පැවතුණ දෙයකි. අලි පැටවුන් නීති විරෝධීව ළඟ තබා ගත් අය ලෙස මහාධිකරණ විනිසුරකු වූ තිලිණ ගමගේට සහ කිරුළපන ඇලන් මැතිණියාරාමවාසී උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා එල්ල විය. ඒ ගැන සොයන්නට ඇලන් මැතිණියාරාමයට ගිය විට ධම්මාලෝක භික්ෂුවට පපුවේ අමාරුව හැදුණේ ය. හිතක් පපුවක් තිබෙන අයෙකුට නම් කුඩා අලි පැටවෙකු මව් කෙනරගෙන් ගලවා බැඳ දමා තබන්නට බැරි ය. එනිසා පපුවේ අමාරුවක් හැදුණු බවත් විශේෂ කරුණකි.
මේ සිදුවීම විමල් වීරවංශ විසින් අර්ථකථනය කරනු ලැබුවේ, පෙරහැරට ගෙනා අලි පැටවෙකු අමතකව ගොස් තිබී පංසලේ ගැට ගසා සිටි බව කියමිනි. අලිපැටියෙකු යන බලු පැටියෙකු නොවේ. අලින් අමතක වී යන්නට හැකි ද? විමල් වීරවංශලාට අමතක වූ දේවල්වල හැටියට අලියෙක් අමතක වී යාම සුළු දෙයක් වුව ද සැමට ම එසේ නොවේ. ළදරුවෙකුට වුව ද තේරුම් යන සිද්ධියක් ගැන විමල්ට මෙතරම් දෙයක් කියන්නට ලැජ්ජාවක් නැති වූයේ කුමක් නිසා ද?
දේශපාලන පරාභවයේ අන්තයට ගිය විට මිනිසුන් එබඳු ය.
සඳුන් ප්‍රියංකර විතානගේ
කාටුනය – විනී හෙට්ටිගොඩ ශිල්පියාගෙනි