යහපාලන ආණ්ඩුව තවත් වසර 04 ක් ඉදිරියට යනවලු

Spread the love

යහපාලන ආණ්ඩුව තවත් වසර හතරක් සඳහා ඉදිරියට ගෙන යෑම පිණිස ප්‍රධාන පක්ෂ අතර කෙරුණු සාකච්ඡා සාර්ථකව නිම වී තිබෙන බැවින් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව කිසිවකුත් අවිශ්වාසයක් තබාගත යුතු නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජනපති හා අගමැති පෙර පරිදිම එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන බවත් මේ නිසා ඉදිරි වසර හතරක කාලය තවත් ශක්තිමත්ව ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ මහතා කීය. පේරාදෙණිය රජවත්ත ළමා උද්‍යානය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා පෙරේදා (11) මේ බව ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණ දැන් වසර 2 1/2ක් ගතව තිබෙන බවත් ආණ්ඩුවේ ආයුෂ කෙටි බවට ඇතැමුන් විවිධ ප්‍රකාශ කරන බවත් කී ඒ මහතා ඉදිරි වසර හතරක කාලයත් ආණ්ඩුව තුළ මේ ආකාරයටම ක්‍රියා කිරීමට සියලු පාර්ශ්ව එකඟ වී සිටින බව ආණ්ඩුව කඩාවැටෙනතුරු බලා සිටින පිරිස් වලට තමන් ප්‍රකාශ කරන්න කැමැති බවද අවධාරණය කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනපති ධූරයට පත්වීම සඳහා සහාය දුන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් එහිදී එක්සත් ජාතික පක්ෂය නායකත්වය ගනිමින් ක්‍රියාකළ බවත් හෙතෙම කීය.

ජනපතිවරයා ආරක්ෂා කර ගනිමින් ජාතික ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම පිණිස එක්සත් ජාතික පක්ෂයට අයිතියක් තිබෙන බවත් ජනවරම පවතින්නේ ජනපතිවරයාට හා එක්සත් ජාතික පෙරමුණට බවත් කී කිරිඇල්ල මහතා විවිධ පක්ෂ හා කණ්ඩායම් ආණ්ඩුවට එකතු වූයේ මැතිවරණයෙන් පසුව බවද කීය.

ජනපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට යහපාලන ආණ්ඩුව කැපවී ක්‍රියාකරන බවද හෙතෙම අවධාරණය කළේය.

RSL

Related Posts