විමල් වීරවංශ ලියූ ජාතියේ වීරවංශය එළිදකියි!

Spread the love

එක්තරා කාලයක විමල් වීරවංශ මෙරට රැඩිකල් වාම දේශපාලනයේ සංකේතය බවට පත් වී තිබුණි. ගලා හැලෙන කොණ්ඩයත්, මුඛරි මුඛයත්, රැවුල් විලාසිතාවත්, ෆිදෙල් හැඩයේ හිස්වැස්මත් නිසා එවක ජ.වි.පෙ. පමණක් නොව බොහෝ තරුණයන්, තරුණියන් විමල්ට ආශක්තව සිටි බව රහසක් නොවේ. ජ.වි.පෙ. අනුත්තර නායකයා වූ රෝහණ විජේවීරගේ හඬ අනුකරණය කරමින් වේදිකාවල පවත්වන ලද කතා නිසා අපට මතක හැටියට 2008 දී ජනතා විමුක්ති පෙරමුණෙන් සමුගන්නා තෙක් ම වැඩිම ඉල්ලුම තිබුණේ විමල්ට ය.

ජාතිකවාදයේ කරට නැග බලය ලබාගෙන ජාතිවාදීන්ගේ පශ්චාත්භාගයට පයින් ගැසීමේ ජ.වි.පෙ. උපායමාර්ගය ක්‍රියාත්මක කරන කාලයේ එහි ප්‍රකාශකයා වූයේ විමල් ය. පසුව එම උපාය කණපිට පෙරැළී පශ්චාත් භාගය බිම ඇනගත්තේ ජනතා විමුක්ති පෙරමුණ යි. එම නිමේෂයේ දී ඔවුන් ට විමල් නමැති ජනප්‍රිය සංස්කෘතික සලකුණ අහිමිවීම සනිටුහන් කෙරුණේ හොටු කතාවක් ලෙස ප්‍රකට වූ කතාවක් යටිගිරියෙන් දෙසමින් විමල් නව පක්ෂයක් කියා එකක් හදාගෙන යෑමත් සමඟ ය.

එකී යෑම හා ම ජ.වි.පෙ. විරෝධීන්, පක්ෂයෙන් ඉවත් වූවන්, ඉවත් කළවුන්, ඉතුරු-බිතුරු සියල්ල ම මේ අලුත් පක්ෂය යැ යි කියූ එක හා එක්වෙන්නට සූදානම් වූයේ විවිධ අනන්ත පසමිතුරුතා මොහොතකට අමතක කරමිනි. ඒ වකවානුවේ, දිවයින පුවත්පතේ පළවූ විමල්,කමල් සහ නන්දනගේ නන්දන වින්දන ලිපි පෙළ කියවා බලන යමෙකුට උක්ත අදහස තහවුරු කරගත හැකි වනු ඇත.

90න් පසු ජනතා විමුක්ති පෙරමුණේ පළමු සහ ප්‍රබල ඛණ්ඩනයේ දී තමා ද එළියට එන බව කියා එලෙස ආ කණ්ඩායමට සපථ කළ ද එසේ නොපැමිණි විමල් එහි නතර වූයේ “මැයි දින කතාව කර එන්නම්” කියා ය. එදා විමල් නැවතුණ ද එළියට ආ කමල්, මේ දිනවල ඒ විමල් ව ම විශ්වාස කරමින් මඳ කලක් විමල්ගේ නව දේශපාලන පක්ෂ ආලෝක කදම්භයට ආලෝලනය වූයේ ය. විවිධ අන්දමට මිනිසුන් එකල එහෙ-මෙහෙ විසිව ගිය අතර පක්ෂ සාමාජිකයන් අතර ආමන්ත්‍රණය “සහෝදරයා” යන වචනයෙන් කරනවා ද නැත් ද යන්න ගැන, නව පක්ෂයේ මධ්‍යම කමිටුව රැයවල් පුරා සංවාද කළ බව ද දැනගන්නට ලැබුණි. විමල් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මලත්වයෙන් අනූන බවක් පෙන්වූ ඈයින් ද ගිය අතර, එවක ජ.වි.පෙ.න් ඉවත්ව ස්වාධීනව සිටියවුන්ට “කොක්ක” ගසන්නට ඔවුන් වෑයම් කළ බව මේ ලියුම්කරු සේ ම එසේ කොක්ක ගැසීමට වෑයම් කළ ඈයෝ ද හොඳින් දනිති.

විමල් පක්ෂයක් හැදූ අතර, ඇමතිකමක් ලබා ගත්තේ ය. කලිකලහයන් නිමක් නැති වූ අතර, ඒ දවස්වලම නන්දන වින්දනවලට සමුදෙමින් නන්දන ගුණතිලක ඔවුන්ගෙන් කැඩී ගියේ ය. නැවතුණේ, එක්සත් ජාතික පක්ෂයෙනි. අචල ජාගොඩ ද නැවතුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අචලව ඉදිරියට ගෙන යන්නට සපථ කරමින් එතැන ය. විමල් සමඟ නැවතුණු පිරිස හැඳින්වූ තවත් නමක් වූයේ ජාතික නිදහස් පෙරමුණ යි.

මේ පිරිස විය හැකි පරිද්දෙන් ම යැපුණේ විමල්ගේ ඇමැතිකමෙනි. සමානුපාතික නියෝජන ක්‍රමය තහවුරු වූ පසුව ඇති වූ දේශපාලන සංස්කෘතියේ නියම ඇමැතිවරයෙකු පරිද්දෙන් විමල් වීරවංශ කටයුතු කළේ ය. වාහන අවභාවිත කළේ ය. වතුර බෝතලයෙන්, හාල් කිලෝ එකෙන්, කැලැන්ඩරයෙන්, දිනපොතෙන් පමණක් නොව සැබෑවට නොපවත්වන ලද ජනමාධ්‍ය වැඩමුළුවලින් පවා ගසා කෑවේ ය. තනියම කන නරක ළමයෙක් නොවූ ඔහු මුළු පක්ෂයට ම පාහේ සැලකුවේ ය. විමල් සමඟ තනිවූ ජාතික නිදහස් පෙරමුණ සුලු පිරිසක් බැවින් එය අපහසු කරුණක් ද නොවී ය. යුද්ධය දිනන්නට උදව් උපකාර කළ බැවින් ගුණදාස අමරසේකර තියරිය අනුව හොරකම් කළාට අවුලක් නැති නිසා ඔහු හිතට බරක් නොදී වැඩිම බරක් ඇද්දේ ය.

විමල් විප්ලවකාරී දේශපාලන කටයුතුවල යෙදෙද්දී හිරේ විලංගුවේ නොවැටෙන්නට තරම් දක්ෂ වූ නමුත් වර්තමානයේ අමාරුවේ වැටී ඇත්තේ ය. විමල්ගේ සහචරයින් ද අමාරුවේ වැටී ඇත්තේ ය. විමල්ගේ සමීප සගයෙක් ජනවාරි 08 වැනි දා සිදුවූ බල පෙරළියෙන් පසු මේ ලියුම්කරුට ෆේස් බුක් හරහා බැණ-අඬ ගෑවේ “රට විනාස වෙන බවත් කොටින්ට හෙවත් දෙමළුන්ට දැන් චූන් වී ඇති බවත්, උන් නැගිටින බවත්” කියමිනි. තව ද බංග්ලාදේශයේ ද කොහෙදෝ හමුදා සෙබළුන්ට පහර දෙන පින්තූර කිහිපයක් ද ඔහු ඒ බව ස්ඵුට කරන්නට බෙදා හැර තිබුණේ ය. එහි දී මේ ලියුම්කරු ඔහුට කීවේ ගෝස්තරය සඳහා ජාතිවාදය නොවිකුණන ලෙසත් විකුණන්නට වෙන දෙයක් සොයාගෙන වෙන ව්‍යාපාරයක් කරන ලෙසත් ය. ජාතිවාදයට වඩා විකිණිය හැකි බොහෝ දේවල් සොයා ගැනීමට අපහසු නැති බව වැඩිදුරටත් පැවසූව ද කෝප ගින්නෙන් දැවෙමින් හුන් විමලයානු සහචරයා යන්නට ගියේ ය.

පසු ගිය දා එළි දුටු විමල් වීරවංශගේ වාහන අවභාවිත වාර්තාවේ, උක්ත පුද්ගලයාගේ නම ඉදිරියෙන් වාහන අංක දෙකක් සටහන් වී තිබෙනු දක්නට ලැබුණි. එපමණක් නොව “වැදගත් ම දේ තමන් තනිවුණා ම යායුතු දිසාව සොයාගන්න එක”යි කියමින් නිර්මල විප්ලවවාදියෙක් ලෙස එවක පෙනී සිටි අයෙකුගේ නමක් ඉදිරියෙන් ද එලෙස ම වාහන දෙකක අංක සහ අසීමිත තෙල් ලබා ගැනීමක් ගැන සඳහන්ව තිබුණි.

පංචායුධ කුමාරයා මෙන් ජනයා බේරාගන්නට පැමිණි විමල් වීරවංශ ලියූ ජාතියේ වීරවංශය ඉතා කුඩා ය. ඉතාමත් කුඩා ය. ඒ බඩගෝස්තරය වෙනුවෙන් තමා හා සමඟ එක් වූ ඉතා සුළු පිරිසකට භුංජනය කරන්නට රාජ්‍ය සම්පත් ලබා දීම තරම් ඉතා කුඩා වීරවංශයකි.

ජාතිවාදය අවුස්සාලීම මතින් විමල් වීරවංශට තවත් යම් කාලයක් අල්ලාගෙන සිටිනු ඇත්තේ ය. පසුව ඉතිහාසයේ කුණු බක්කියට බසින්නට සිදුවනු ඇත්තේ ය.

෴ විශේෂ ලියුම්කරුවෙකු විසිනි.
-නිවහල්.කොම්-

RSL

Related Posts