විජේදාස මහපොළත් ඉවර කරයි! අලුත් පොටකට ගැටේ ගසයි

Spread the love

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට තීරණයක් ගනු ලැබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම ශිෂ්‍යත්වයේ ඉතිහාසය විශ්වවිද්‍යාල සිසුන් පවා නොදන්නා බවත්, අද වන විට ඉතිහාසය අමතක වී පසුගිය දවසක ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විනාශ කළ බවත් පැවසූ අමාත්‍යවරයා මින් ඉදිරියට සිසුන්ගේ හිත්වල ඔහුගේ නාමය රැදවීමේ අරමුණින් මෙම තීරණය ගනු ලැබූ බවත් පැවසීය.

මහපොළ භාරකාර මණ්ඩලය වශයෙන් මින් ඉදිරියට ඍජු ලෙස රාජ්‍ය බැංකුවල පමණක් ආයෝජනය කිරීමට තීරණයක් ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

එමෙන්ම නෙට්වර්ක් සිකියුරිටි සමාගමේ පිටස්තර පුද්ගලයින් මුදල් ආයෝජනය කර ඇති බවත් ඔවුන්ට පාඩුවක් නොවෙන ලෙස ඒවායේ මුදල් පියවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මහපොළ භාරකාර අරමුදල වෙළඳ කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයක් ලෙස ආයෝජනය කිරීමට ද තීරණයක් ගත් බව විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මහපොළ අරමුදලේ සියල්ල පොදු දේපල පනත යටතේ ගැනෙන මුදල් වශයෙන් සැලකීමට ද නව සංශෝධනයක් ලෙස ඇතුළත් කරන බවත්, පොදු දේපල පනත යටතේ නීතිය ක්‍රියාත්මක වන විට නීතිය ඉතා දැඩිව තිබෙන බවත් එයට ඇති දඬුවම් වැඩි වීමත් හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

RSL

Related Posts