දේශපාලනඥයා වෘත්තිකයෙකු විය යුත්තේ ඇයි..?

Spread the love

අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි.

එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය වන්නේ එම කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන යාන්ත්‍රණයේ සිටින දේශපාලඥයින් විසිනි. ඔවුන්ව අපේ ස්වකැමැත්තෙන් සර්ව ජන ඡන්දබලයෙන් පත් කරගන්නේද අපමය. එසේ පත්කරගත් ඔවුන්ට යළි දෙස් දෙවොල් තබමින් බනින්නේද අපමය.

උපන්දා සිට නිදහස් අධ්‍යාපනයේ පිහිටින් තරඟ විභාග ජන ගනිමින් අධ්‍යාපනයේ කඩ ඉම් පසුකරන අපට එම අධ්‍යාපනයෙන් පසු ජීවත්වීම වෙනුවෙන් රැකියාවක් සොයාගිය පසු ඊට කෙතරම් නම් සුදුසුකම් අවශ්‍ය වන්නේද..?

එහෙත් රටත්, අපවත් පාලනය කරන රාජ්‍ය යාන්ත්‍රණයට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙන ඔවුන්ව පත්කරගැනීමේදී අප ඔවුන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම්වත් බලනවාද..?

අධ්‍යාපන පොදු සාමාන්‍ය පෙළ විභාගයවත් අසමත්, විටෙක පහේ පන්තියටවත් පාසල් නොගිය අයවලුන් අපේම මහජන නියෝජිතයින් ලෙස අපේම කතිරයෙන් පත්කරගන්නේ අපම නොවේද..?

එසේ අප විසින්ම නිසි සොයාබැලීමකින් තොරව පත්කරගත් කිසිඳු සුදුසුකමක් නොමැති දේශපාලඥයින් ලඟ වැඳවැටෙමින් ඉහළ සුදුසුකම් සපිරූ අප ඔවුන්ගෙන් රැකියා ඉල්ලා ඔවුන් පසු පස යන්නේ නම් අපට ආත්මයක් සහ රටකට අනාගතයක් ඉතිරි වෙයිද..?

පවිත්‍රා අංශයේ සේවය කරන කම්කරුවාටත් එම වෘත්තීය සඳහා අවම සුදුසුකම් සහ වෘත්තීයමය භාවයක් තිබේ. ඉන් ඉහළ සිටින ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් ඇතුළු සෑම සියලුදෙනාටම අවම අධ්‍යාපන සුදුසුකමක් මෙන්ම වෘත්තීය සුදුසුකම් ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විවිධ රැකියා ඔස්සේ රටේ සංවර්ධනයට දායකවන අප කිනම් හෝ ක්ෂේත්‍රයක වෘත්තිකයින් වෙමු. එහෙත් අවාසනාවට සත්‍යය නම් ඔබත්, අපත්, රටත් පාලනය සඳහා අප විසින් ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා සඳහා අප විසින්ම පත්කරගන්නා කිසිවෙකුට අවම අධ්‍යාපන සුදුසුකමක් හෝ වෘත්තීමය සුදුසුකමක් අදාළ නොවීමයි. මෙම ක්‍රමය දැන්වත් වහාම වෙනස් විය යුතුය. එය ඔවුන් විසින් වෙනස් කරගැනීමට කෙතරම් දුරට අවංක මැදිහත් වේදැයි සැකසහිතය. එම නිසා ඊට බලකිරීම අප විසින්ම සිදුකළ යුතුව ඇත.

කිසිදු සුදුසුකමක් නොමැතිව රටේම සම්පත් රිසිසේ බුක්ති විඳින ඔවුන් ඒ වෙනුවෙන් වැය කරන්නේ අපේ පොකට්ටුවෙන් ගසා ගන්නා බදු මුදල්ය. ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් හැම රුපියලක්ම, සතයක්ම ගෙවන්නේ අපය.

එම නිසා ඔවුන්ගේ රැකියාවේ නිර්නායකයන් තීරණය කිරීමේ බලය අප සතුය. ඒ වෙනුවෙන් අප එඩිතරව මැදිහත් විය යුතු කාලය එලෙඹ ඇත. දේශපාලඥයාද තම ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් විය යුතුමය.

RSL

Related Posts