පිළියන්දල වෙඩි තැබීම පිටුපස වෙලේසුදා සහ මිනීමරු කල්ලියක්! (විශේෂ -වීඩියෝ)

Spread the love

මත් කුඩු වැටලීමක්‌ සඳහා යමින් සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09 වැනිදා) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක්‌ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙම වෙඩි තැබීමෙන් මිදුම්මලසූරිය, ඉලිප්පුගමුව, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ කොස්‌තාපල් (4946) චමින්ද අබේවික්‍රම මහතා මියගිය අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රවීණ නිලධාරියකු වූ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව සහ පොලිස්‌ කොස්‌තාපල් (67055) චමින්ද යන නිලධාරීහු බරපතළ තුවාල ලැබූහ.

වෙඩි වැදීමෙන් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාගේ උරස්‌ ප්‍රදේශයට සහ හිස ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. තුවාල ලැබූ පොලිස්‌ කොස්‌තාපල් චමින්ද මහතා ජාතික රෝහලේ 72 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා සහ පොලිස්‌ කොස්‌තාපලවරයා ප්‍රතිකාර ලබන රෝහල් වාට්‌ටුවලට විශේෂ ආරක්‍ෂාවක්‌ යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක්‌ පිළිබඳ ඔත්තුකරුවකුගෙන් සති දෙකක පමණ සිට ලැබුණු තොරතුරු මත සිදු කළ මෙහෙයුමකට අනුව පෙරේදා (9 වැනිදා) රාත්‍රියේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා සහ අනෙක්‌ නිලධාරීන් දෙදෙනා මෝටර් රථයකින් පිළියන්දල ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර තිබිණි.

වෙඩි තැබීමෙන් පසු පාතාල සාමාජිකයන් දෙදෙනා පලා ගිය පල්සර් වර්ගයේ යතුරුපැදිය මහරගම ප්‍රදේශයේ අතැහර ගොස්‌ තිබියදී ඊයේ (10 දා) විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් සොයාගනු ලැබීය.

මෙම වෙඩි තැබීමෙන් මහමඟ ගමන් කරමින් සිටි කුඩා දරුවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකුද තුවාල ලබා තිබුණු අතර ඒ අතරින් එක්‌ දරුවකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමත් සමග විමර්ශන ආරම්භ කළ පොලිසිය ඊයේ (10 දා) වන විට රංගජීව මහතා ඇතුළු නිලධාරීන්ට මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු ලබාදුන් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත. මෙම ප්‍රහාරයට එකී පොලිස්‌ ඔත්තුකරුවා යම් ආකාරයකින් සම්බන්ධ වී තිබේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා මෙසේ ප්‍රශ්න කිරීම් සිදු කරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

විමර්ශනවලට අනුව මේ වන විට වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශයේ තිබූ සීසීටීවී දර්ශන සියල්ලද පොලිසිය භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටි ප්‍රවීණ නිලධාරීයකු ලෙස පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා සහ ඔහුගේ නිලධාරීන් පසුගිය කාලයේ දිගින් දිගටම සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් රංගජීව මහතා ඝාතනය කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මීට පෙර අවස්‌ථාවකද රංගජීව මහතා ඝාතනය කිරීමට පැමිණ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටි පාතාල ඝාතකයන් දෙදෙනකු රංගජීව මහතාම සිදු කළ වැටලීමකදී පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව පොලිස්‌ මූලස්‌ථානයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

රංගජීව මහතා ඝාතනය කිරීම සඳහා එම ඝාතකයන් දෙදෙනාට කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී තිබුණේ ඒ දිනවල පාකිස්‌තානයේ රැඳී සිටි වෙලේ සුදා විසින් බව පසුව අනාවරණය වූ බවද හෙතෙම කියා සිටියේය.

මේ වන විට මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටිනුයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක්‌ සමග හසුවී දඬුවම් නියම වීම නිසා බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේදී පෙරේදා (9 දා) රාත්‍රි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා ඇතුළු නිලධාරීන්ට පාතාල සාමාජිකයන් දෙදෙනකු වෙඩි තැබූ බවට ප්‍රචාරය වීමත් සමඟ දැනට බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවන් සතුට පළ කළ බවද බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ ඉකුත් 2011 වසරේ ඇතිවූ කැරැල්ලේදී රංගජීව මහතා පැමිණ සිරකරුවන් ඝාතනය කළ බව පවසමින් ඒ දිනවල ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් බන්ධනාගාරගතව සිටි සිංහල කොටියකු ඇතුළු පිරිසක්‌ පසුගිය දිනවල විශාල ප්‍රචාරයක්‌ ගෙන ගිය අතර ඒ පිටුපස ද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බව පොලිසිය හෙළි කරගෙන තිබිණි.

මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවක්‌ ලබා දෙන ලෙස නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා ඊයේ (10 දා) පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇත.

නිසි සූදානමකින් තොරව මත්ද්‍රව්‍ය වැටලීමක්‌ සඳහා පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ පිටත්ව යැමට හේතුව ඇතුළුව සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක්‌ දින තුනක්‌ ඇතුළත තමන් වෙත ලබා දෙන ලෙස ද ඇමැතිවරයා විසින් පොලිස්‌පතිවරයාට දැනුම් දී ඇත.

මේ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතා පත්කිරීමට පොලිස්‌පතිවරයා පියවර ගෙන තිබේ.

-දිවයින-

RSL

Related Posts