සතිඅග සළරුව – Spotlight (2015)

Spread the love

spotlight

සමාජීය අවශ්‍යතා වෙනුවෙන් ගොඩනැගෙන සිනමාපටයත් වෙත්නම් එය අව්‍යාජ කලා කෘතියක් ලෙස හැඳින්වීමට අප මැළි නොවිය යුතුයි. ස්පොට්ලයිට් චිත්‍රපටය පැහැදිලිවම එවැන්නක්. සත්‍ය සිදුවීම් මාලාවක් පසුබිම් කරගත් එකක්. ඒ සත්‍යය ඇතැම් විටෙක, සද්චරිතවත් ආධ්‍යාත්මයක් කෙරෙහි විශ්වාසය තබා සිටින්නවුන්ගේ සිත් රිදවන කටුක සත්‍යයක්.

“දෙවියන්වහන්සේ වැළපෙනවා…

ලිංගික අපහරණයට ලක්වූ දරුවන් වෙනුවෙන්…

මේවා රහසේ තබාගෙන සිටින්නට බැහැ…”

පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයෙහි යෙදුන ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමන් ආගමේ සෙවනැල්ලට වසන් කර අසාධාරණයට ලක්කරනු ලැබූ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවීමට තමන්වහන්සේ කැපවන බවට එසේ ප්‍රතිඥා දී සිටියා. ඒ කුඩාකාලයේ, කතෝලික පූජකවරුන් අතින් අපහණයට ලක්වූවන් පිරිසක් ඉදිරිපස සිටගෙනයි.

ස්පොට්ලයිට්, සමාජ ව්‍යසන ගණනාවකට ලැගුම් ගෙය වූ ආගමේ අඳුරු සෙවනැල්ල පළවා හැරීමට කටයුතු කළ මිනිසුන් පිරිසකගේ සත්‍යවාදී කැපවීමක් ගැනයි.

2002 වසර වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ, “ද බොස්ටන් ග්ලෝබ්” පුවත්පතෙහි “ස්පොට්ලයිට්” ප්‍රවෘත්ති කණ්ඩායම කතෝලික ජූජකවරුන් අතින් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වූ අවස්ථා 600 ක් හෙළිකරලන්න සමත්වුණා. බොහෝ කලක් වසන්ව, වසන් කරනු ලැබ තිබූ මෙම සිදුවීම් හෙළිකිරීම වෙනුවෙන් ස්පොට්ලයිට් කණ්ඩායම 2003 වසරේදී විශිෂ්ටතම ප්‍රජා සේවාව අරභයා පිරිනැමෙන පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ස්පොට්ලයිට් චිත්‍රපටයට පදනම් වන්නේ ස්පොට්ලයිට් මාධ්‍යවේදී කණ්ඩායම සමාජයට පිළිලයක් වෙමින් තිබුණු, කතෝලික සභාවට අපකීර්තියක් එක්කළ ඒ අඳුරු සිද්ධිදාමය හෙළි කරගැනීම සඳහා දිවිහිමියෙන් කළ කැපවීමයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මාධ්‍යකරණය පිළිබඳව යහපාඩමක් වැනියි.

ස්පොට්ලයිට් චිත්‍රපටය ටොම් මැකාර්ති ගේ අධ්‍යක්‍ෂණයක්. එය මේ වනවිටත් වසරේ හොඳම චිත්‍රපටය, හොඳම සිනමා අධ්‍යක්‍ෂණය ඇතුළුව ඔස්කාර් සම්මාන 6ක් සඳහා නිර්දේශ ලැබ තිබෙවා. මාර්ක් රෆලෝ සහ රේචල් මැක්ඇඩම්ස් හොඳම සහාය නළුවා සහ සහාය නිළිය යන සම්මාන සඳහා නිර්දේශ ලැබ සිටිනවා. AFI හෙවත් ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යයන ආයතනය 2015 වසරේ බිහිවූ හොඳම චිත්‍රපටය ලෙස තෝරා ඇත්තේ සපොට්ලයිට් චිත්‍රපටයයි.

ස්පොට්ලයිට් චිත්‍රපටය සිනමා ලෝකයේ ජයකෙහෙළි නංවත්දී, එයට පදනම වූ සැබෑ ස්පොට්ලයිට් කණ්ඩායම මේවන විටත්, මාධ්‍යකරුවන් වීමේ වරමින් උරුම සමාජයේ අඳුරු තැන් සත්‍යයේ ආලෝකයෙන් හෙළි කිරීමේ නොනවතින වගකීමෙහි වෙලී කැපවී සිටිනවා.

අඛිල රන්සිරි මලලගේ

RSL

Related Posts