සයිටම් විරෝධී සටනට වෘත්තීය සමිති 160ක්!; ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනයට පෙළගැසෙයි

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි විරෝධතා සටනට වෘත්තීය සමිති 160ක් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ සඳහා සියලු වෘත්තීය සමිති එක්ව ලබන සතියේ 04 වැනිදා හෝ 05 වැනිදා දීපව්‍යාප්ත එක්‌දින වැඩවර්ජනයක්‌ කිරීමට තීරණය කර ඇත.

ඉන් පසුව රජය මේ සම්බන්ධව විසඳුමක්‌ ලබා නොදුනහොත් මැයි 09 වැනිදා රට පුරා අඛණ්‌ඩ මහා වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සඳහා දින නියම කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය හා භික්‌ෂු බල මණ්‌ඩල, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරින්, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය, සමස්‌ත ලංකා හෙද සංගමය, සෞඛ්‍ය ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය, විකිරණ විද්‍යා තාක්‍ෂණවේදී සංගමය, රජයේ සුවසේවා සංගමය, දේශිSය ආදායම් හෙද සේවක සංගමය, ලංකා විදුලි සේවක සංගමය, සමස්‌ත ලංකා බැංකු සේවක සංගමය, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්‌ථා පොදු සේවක සංගමය, සමස්‌ත ලංකා දුම්රිය හෙද සේවක සංගමය, දුම්රිය තාක්‍ෂණ නිලධාරි සංගමය, වරාය හෙද සේවක සංගමය, ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය, ජල සම්පාදන හා ජලාපවහන පොදු සේවක සංගමය, තැපැල් සේවක සංගමය, සමස්‌ත ලංකා රේගු සේවක සංගමය, ප්‍රවාහන පොදු සේවක සංගමය, සත්ත්ව උද්‍යාන පොදු සේවක සංගමය, රූපවාහිනි සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමයේ වෘත්තිය සමිති සියයක්‌ , ගුරු සේවා සංගමය, ගුරු සංගමය, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය, සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, ඇතුළු වෘත්තිය සමිති රැසක්‌ වර්ජනයට එක්‌වන බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

රජය සයිටම් සම්බන්ධව අත්තනෝමතික භාවයෙන් ඔබ්බට ගොස්‌ දැඩි දේශපාලන උන්මත්තක භාවයකින් කටයුතු කරන බවද උසස්‌ අධ්‍යාපන හා සෞඛ්‍ය යන ඇමැතිවරුන් දෙදෙනා රජයේ මුදල් අවභාවිතා කරමින් සයිටම් වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්‌ සිදුකරමින් සිටින බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීවේය.

වෛද්‍ය සභාවට දේශපාලන බලපෑම් එල්ලවන බවද ඇමැතිවරුන් දෙදෙනාගේ ශිෂ්ට සම්පන්න නොවන හැසිරීම් හමුවේ සිසුන්, වෘත්තිය සමිති සහ වෛද්‍යවරුන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇතැයි ද හෙතෙම කීවේය.

මෙම වැඩ වර්ජනය සඳහා ජනතා සහාය අපෙක්‌ෂා කරන බවද රටේ ජනතාවගේ ජීවිතවල අයිතිවාසිකම් වෙනුවෙන් සයිටම් ජනසතු කිරීමට මහජන නියෝජිතයන් පෙළ ගැසිය යුතු බවද නවීන් සොයිසා මහතා කීවේය.

RSL

Related Posts