පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබාදුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රිවරු ගොනුකර තිබුණු කොවොරොන්ටෝ පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ කටයුතු කිරීමත්, ඇමැතිවරුන් ඇමැති තනතුරුවල කටයුතු කිරීමත් වළක්වාලමිනුයි. මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලෙක කිසිම රටක අධිකරණයක් විසින් අගමැති සහ ඇමැති මණ්ඩලය තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නැහැ. එහෙම අවස්ථාවක් පිළිබඳ දන්නවා නම් කියන ලෙසත් ඉල්ලා සිටිනවා.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මේ බව පෙරේදා (05දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වී තනතුර පුරප්පාඩු වී ඇති බවට ප්‍රකාශයක් කරල නැහැ. ඇමැති මණ්ඩලය විසිර ගොස් ඇති බවට ප්‍රකාශයක් කරලත් නැහැ. ප්‍රකාශ කර තිබෙන්නේ ඒ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් පමණයි. මේ නඩු තීන්දුව මඟිනුත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති බව පිළිගෙන තිබෙනවා. ඇමැතිවරුන් පිළිගෙන තිබෙනවා. ඒත් තනතුරුවල රාජකාරි කරන්නට හැකියාවක් නැහැ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක පොතක් ලියූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා මේ ව්‍යවස්ථාව අනුව ඒක පුද්ගල ඇමැති මණ්ඩලයක් පත්විය හැකි බවට අනාවැකියක් පළ කළා. අද එතුමා ජීවතුන් අතර නැහැ. ඒත් එතමාගේ අනාවැකිය සත්‍යයක් වෙලා තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න සහාය දෙන බව කියනවා. හදිසියේ දෙමළ සන්ධානයේ ස්ථාවරය මේ ආකාරයට වෙනස් කළේ ඇයි? ඒ සඳහා එජාප දුන් පොරොන්දු මොනවාද? දෙමළ සන්ධානය මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි.
2001 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ අලි – කොටි ගිවිසුමක් තිබෙන බවට මංගල සමරවීර මන්ත්‍රිතුමා එකල හෙළි කළා. නමුත් එජාපය ඒක ප්‍රතික්ෂේප කළා. ඒත් එජාපය බලයට ආවට පසුව උතුරු – නැඟෙනහිර කොටි ප්‍රදේශ ලෙස මායිම් පිළිගිනිමින් නිල නොවන ඊළාම් රාජ්‍යයට පිළිගැනීමක් ලබා දුන්නා. හමුදා කඳවුරු ඉවත් කර ගත්තා. බුද්ධි අංශය පාවාදුන්නා. අන්තර්කාලීන ස්වයං පාලනයක් පිහිටුවීමට කටයුතු කළා.
අලි – කොටි ගිවිසුමක පිටපත් 2015දී තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා හෙළි කළා. එතුමාට කූට ලේඛන ඉදිරිපත් කරල සිරගත කළා. නමුත් අන්තිමට මොකද වුණේ? ඒ ගිවිසුමේ තිබුණු කරුණු එකින් එක ක්‍රියාත්මක වුණා.
ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාවා. උතුර හා නැඟෙනහිර යළි එක් කරන්න උත්සාහ ගත්තා. හමුදා කඳවුරු ඉවත් කළා. කොටි ත්රස්තවාදීන් නිදහස් කළා. බුද්ධි අංශ පාවා දෙමින් ඒවා අකර්මණ්‍ය කළා. රණවිරුවන් දඩයම් කළා. කොටි පෙරමුණු සංවිධානවල තහනම ඉවත් කළා. ඒ ආකාරයට අලි – කොටි ගිවිසුම් දෙකකින් හොඳටම බැට කෑ මෙරට ජනතාව ඊළඟ අලි-කොටි ගිවිසුමෙන් මොනවගේ අනතුරක් වේද කියන සැකය අබියස සිටිනවා.අද එජාප පාක්ෂිකයො වහල්ලු වෙලා. වසර 26ක් තිස්සේ පැරදිච්ච රනිල් ඕනෑ කිය කියා සිටීම වහල්කමක්.
මේ රටේ අපේ පක්ෂය එපා නම් බලය දෙන්න දේශප්‍රේමී පක්ෂයක් නැහැ.