අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

Spread the love

පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන “රටම රකින ජන මහිමය 113+”දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් ද, අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම්ද, රථවාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසක් ද යෙදවේ.

දියත උයන, පොල්දුව හංදිය මාර්ගයේ පාර්ලිමේන්තු වටරවුම මාර්ගයේ අද(05) උදෑසන රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුනොවන අතර දහවල් 12.00 සිට රථවාහන ගමනාගමනය සීමා කරන හෙයින් දහවල් 12.00න් පසු විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් පාසල් දරුවන්ට අවහිරයක් නොවන පරිදි ඔවුන්ට ප්‍රමුඛස්ථානය ලබාදී පාසල් බස් රථ සහ පාසල් වෑන් රථ ගමන් කිරීමට හැකි ලෙස මාර්ග ප්‍රමුඛස්ථානය ලබාදි කටයුතු කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

විකල්ප මාර්ග ලෙස කඩුවෙල, අතුරුගිරිය, මාලබේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන කොස්වත්ත හංදියෙන් හෝ බත්තරමුල්ල හංදියෙන් වමට ගමන් කර පාලම් තුන හංදිය, කියන්හෑම් වටරවුම, ජපන් මිත්‍රත්තව පාර, කිඹුලාවල හංදිය,පිටකෝට්ටේ හංදිය, පාගොඩ පාර, නාවල පාර, ඔස්සේ නාවල හංදිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුලු විය හැකිය.

කොළඹ සිට මාලබේ, කඩුවෙල, අතුරුගිරිය දෙසට ගමන් කරන වාහන ආයුර්වේද වට රවුමෙන් ඉදිරියට හෝ වැලිකඩ හංදියෙන් ඉදිරියට ගමන් කර බුත්ගමුව පාර, අඹගහ හන්දිය, කලපළුවාව පාර, හීනටිකුඹුර පාරෙන් කොස්වත්ත හංදියට ගමන් කර මාලබේ කඩුවෙල අතුරුගිරිය දෙසට ගමන් කළ හැකියි.

එමෙන්ම කලපළුවාව පාර හරහා ලෝලෙවල් පාරට ගමන් කර කඩුවෙල දෙසට ගමන් කළ හැකියි.

පන්නිපිටිය හෝකන්දර සිට තලවතුගොඩ හරහා කොළඹට ඇතුළු වන වාහන තලවතුගොඩ හංදිය, කිඹුලාවල හංදිය, පාගොඩ පාර, නාවල පාර, ඔස්සේ නාවල හංදිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය.

බොරැල්ල සිට තලවතුගොඩ, හෝකන්දර,පන්නිපිටිය දෙසට ගමන් කරන වාහන වලටද ඉහත මාර්ගය ප්‍රතිවරුද්ධ දිශාවට භාවිතා කළ හැකිය.

රැළිය සඳහා පැමිණෙන ජනතාව තම වාහන නිසි වාහන ගාල් වල ගාල් කරන ලෙසත් තම සංවිධායකයින්ගේ උපදෙස් අණුව ඔවුන් සමඟ සම්බන්ධවී අදාළ ස්ථාන වලම රථවාහන ගාල් කරන ලෙසත් එසේම විකල්ප මාර්ග වල ඇති රථවාහන සංඥාවලට අනුකූලව කටයුතු කරන ලෙසත් එම කාලය තුළදී විකල්ප මාර්ගවල වාහන ගාල් කිරීමෙන් වලකින ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.

RSL

Related Posts