රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; කිතුණුවෙක් වන ඔහු බෞද්ධාගමට සිදුකරන්නේ විශාල අපහාසයක් (වීඩියෝ)

Spread the love

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා නිරන්තරයෙන් විවිධ ආයතනවලට, ආගම්වලට, පුද්ගලයින්ට පදනම් විරහිත කතා, විවේචන, අපහාස, උපහාස කරමින් කට නිසාම පිළිකුලට ලක්වෙමින් සමාජයෙන් සහ අධිකරණයෙන් දඬුවම් විදින්නෙකු බවත්, ඔහු කිතුණු භක්තිකයෙකු ලෙස දැඩිව බෞද්ධ ස්වාමීන්වහන්සේලා විවේචනය කරමින්, බෞද්ධාගමට අපහාස කරමින් පිළිකුලට සහ අප්‍රසාදයට ලක්වන්නෙකු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් සුමතිපාල මහතා මේ බව පැවසූයේ මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

“ඔව්.., මම දැක්කා ඔහු මහනායක ස්වාමින්වහන්සේලා බැහැදැකලා නොයෙකුත් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. රන්ජන් මහත්මයා ඉදිරිපත් කරන සමහර කරුණු ප්‍රසිද්ධියේ ඉදිරිපත් නොකළ යුතු කරුණු ලෙසයි මම දකින්නේ. සමහර කරුණු ඔහුට පාර්ලිමේන්තුව හරහා කියන්න තිබුණා. දැනටත් ඔහු අධිකරණයට අපහාස, උපහාස කළා කියලා නඩු නිමිති දෙකක් තියෙන කෙනෙක්. ශ්‍රේෂ්ඨාධිකරයෙනුත් ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඉන්න අවස්ථාවක්. ඔහු ප්‍රසිද්ධියේ මෙසේ මිනිස්සුන්ගේ ජීවතත් එක්ක, විශේෂයෙන්ම මහා සංඝරත්නයට කරන මේ ප්‍රකාශවලට දැඩි පිළිකුලක් සහ බෞද්ධයින් අතර දැඩි කනස්සල්ලක් තිබෙනවා මොකද ඔහු උපතින් බෞද්ධයෙක් නොවන නිසා.

අපි බෞද්ධයෝ හැටියට කවදාවත් කාදිනල්තුමා ගැනවත්, පාප්වහන්සේ ගැනවත් ප්‍රසිද්ධියේ කියන්න හෝ විවේචනය කරන්නේ නැහැ. මොකද වෙනත් ආගම්වල ශාස්තෘන් ගැන, ආගමික නායකයින් ගැන එලෙස විවේචනය කිරීම එම ආගමික නායකයින්ට කරන අපහාසයකට වඩා එම ආගමට කරන අපහාසයක්.

බෞද්ධ ධර්මය අනුව ගත්තාම බුද්ධ ශාසනයේ බුද්ධ ශාවකයින් හතර වර්ගයක් සිටිනවා. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට කවදාවත් උපතින් බෞද්ධයෙක් වුණු කෙනෙක් මේ විදියට ගරහලා කතා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේගේ කාලයේදී පවා මේ වගේ විනය සම්බන්ධ කාරණාවලදී ඒවා විසදපු අවස්ථා සහ ආකාර තිබෙනවා. අපි දන්නවා මීට පෙර අවස්ථාවකදී පාප්තුමෙක් පත්වුණු අවස්ථාවකදී සමලිංගික ප්‍රශ්නය මුළු ලෝකයේම පියතුමන්ලා එක්දහස් ගණනකට වාර්තා තියෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. එම අවස්ථාවේදී පාප්වහන්සේට මේ ගැන විශාල චෝදනාවක් ආවා. ඊට පස්සේ ඒක හත්සියයට අඩුවෙලා, අන්තිමට තුන්සිය ගාණනට අඩුවුණා. මොකද ලෝකයේ ප්‍රසිද්ධියේ කතා කරලා ඒක මැඩ පවත්වපු නිසා. ඒ වුණාට ඒක පාප්වහන්සේට තිබෙන අයිතිය. ස්වාමීන්වහන්සේලාගේ ගැටලුවක් තියෙනවා නම් ඒක අපේ මහානායක හිමිවරුන්ට තිබෙන අයිතිය. ඒක නිසා අපි බෞද්ධයින් හැටියට භික්ෂු, භික්ෂුනී ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට අපට අයිතියකුත් නැහැ, බලයකුත් නැහැ, ඒ වගේම අපිට සුදුසුත් නැහැ.

ඒ නිසා බෞද්ධයෙක් නම් කසාවත රදා සිටින ස්වාමීන්වහන්සේ කෙනෙක් ගැන ප්‍රසිද්ධියේ විවේචනය කරන්නෙත් නැහැ, අඩු පාඩුවක් දැක්කොත් ඒවා ගැන දැනුවත් කරන්න අපට තියෙනවා ක්‍රම වේදයක් සහ විනයක්. බෞද්ධාගම ගැන අවබෝධයක් නැති, ආගම ගැන අවබෝධයක් නැති, ධර්මය ගැන අවබෝධයක් නැති අය ඒවා ප්‍රසිද්ධියේ කිරීමෙන් වෙන්නේ තමන් ඒ තුලින් ප්‍රසිද්ධියක් ලැබෙනවා කියලා හිතනවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ ආගම ධර්මය අදහන මිනිසුන් එය දකින්නේ තමා අදහන ආගමට, ධර්මයට කරන අපහාසයක් ලෙසයි”.

RSL

Related Posts