ඇමති රවී මහා පිංකමක.. ඔක්තෝබර් මස සිට ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්..!

Spread the love

“අපි පක්ෂයක්, පෙරමුණක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයාව නම් කරනවා ඉදිරියේදී. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් බිහිකරපු, රැකගත්ත එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දියහැකි මට්ටමේ කෙනෙක් අපි නායකත්වයට ඉදිරිපත් කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

එ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු සපයමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දළදා මාළිගාවෙන් කළ ඉල්ලීමකට අනුව, ලංකා විදුලිබල මණ්ඩලයෙන්  ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙන්වන මූලික කටයුතු අවසන් නරලා, ඊට අදාල ගිවිසුම් බාරදෙන්නයි අද මෙහි පැමිණියේ. තවත් සති දෙකකින් පමණ මෙම කටයුත්තේ දෙවන අදියර සිදු කිරීමට නියමිතයි.

මෙහිදී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිලිබදව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් කරුණානායක මහතා,

“ජනාධිපති  අපේක්ෂකයා වශයෙන් ඝෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා කියලා කියනවා. ඒ මහතා ඉදිරිපත්විම ඉතාමත් හොදයි. ඒ තුළින් එ.ජා.ප. යට කිසිම අභියෝගයක් නැහැ. ගෝඨාභය මහතා ඉදිරිපත් වුනොත්, එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් ලබාගැනීමට හැකිවේවි. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට මේ වනතෙක් නම් කරලා නැහැ. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමට, පක්ෂය  වෙනුවෙන් කැපවුණ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයින් එ.ජා.ප. යේ සිටිනවා. ඕනෑම අභියෝගයක් බාරගන්න මමත් ලෑස්තියි. ඒ සදහා සුදුසුකම්ද සපුරා තිබෙනවා. නමුත් අපි අපේ මට්ටම තේරුම් අරන් කරයුතු කරනවා” යැයි පැවසීය.

ආගමික සිද්ධස්ථාන වලට නොමිලයේ විදුලිය ලබාදීම ඇතුළු  ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ  ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍ය කරුණානායක මහතා

“පන්සල්, පල්ලි, කෝවිල්, මුස්ලිම් පල්ලි ආදියට ආදායමක් නොමැති නිසා,  යම් සීමාවක් සහිතව විදුලි බිලෙන් නිදහස් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. රටේ මේ වනවිට එසේ විදුලි බිලෙන් නිදහස් කළයුතු ආගමික ස්ථාන  39,800 ක් තිබෙනවා. ඒ වෙනුවෙන් මිලියන 1100 ක් පමණ වියදම් කරනවා. සූර්ය බලය පාවිච්චි කරලා මෙම ආගමික ස්ථාන වලට නොමිලයේ විදලිය ලබාදීම සිදු කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව,  ලබන සැප්තැම්බර් මාසයේ අග වනවිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරෝතතු වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ඉතිහාසයේ ගැටලු වලට මට පිළිතුරු සපයන්න බැහැ. නමුත් වර්ථමානයේ සහ අනාගතයේදී කිසිම අක්‍රමිකතාවක්, වංචාවක්, දූෂණයක් සිදුවන්න මම  ඉඩ දෙන්නේ නැහැ. නරකයි කියන සෑම දෙයක්ම අපි හොද බවට පත් කරමින් යනවා. ඉදිරියේදී අපි විදුලි කප්පාදුවක් ඇති නොවන පරිදි තමයි රැඩිකල් ආකාරයෙන් කටයුතු කරගෙන යන්නේ. අපි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. නූතන ලෝකයට ගැලපෙන අකාරයට කටයුතු කළ යුතුයි.  අපේ වැඩ වලට මිල සූත්‍ර එන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණයි. වැඩකාරයෝ නැහැ. වැඩක් කරන පුද්ගලයාට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. වැඩ නොකරන කෙනා හොදින් ඉන්නවා. වැඩ කරන කෙනාට තමයි නිරන්තරයෙන් බනින්නේ” යැයි පැවසීය.

RSL

Related Posts