ස්වර්ණවාහිනී! හිඟාකන්න.. ඒක නම්බුයි!!!

Spread the love

Swaranwahini

ශ්‍රී ලංකාවේ කිසිදු වගකිව යුතු විද්‍යුත් මාධ්‍යයක් නොමැති බව අපි වගකීමෙන් කියන්නෙමු. වෙළඳ දැන්වීම් හිඟා කෑමට වඩා වෙන යමක් ඔවුන්ට ඇත්තේ නැත. අලුත් සංකල්ප නිර්මාණය කරන්නට සමත් හිස් ඇති මිනිසුන් නැති බැවින් හිස් මිනිසුන්ගේ හිස් සංකල්පවලට වැඩ කරන මේ හිඟන නාලිකා කටයුතු කරන්නේ පුදුම අත්තනෝමතික ආකාරයෙනි.

එදිරිසිංහලාට අයත් ස්වර්ණවාහිනිය ද කැමරා ඔසවාගත් ගොබ්බයන් ලවා කලෙක සිට පාරේ කරන නෙයියාඩගමක් ඇත. එහි නවත ම සංස්කරණයක් දකින්නට ලැබුණි. ඒ නම් මාර්ග නීති කඩකළ පුද්ගලයෙකුට දඩ කොළයක් ලියන ආකාරය නොනවත්වා කැමරා කිරීම යි. අනතුරුව එම පුද්ගලයාගේ වාහනයේ අංකය පවා ඉතා හොඳින් පෙන්වන්නට මේ හිඟන නාලිකාව කටයුතු කළේ ය.

එම අපහසුතාවට ලක් වූ පුද්ගලයා එක් වැදගත් ප්‍රශ්නයක් ඇසුවේ ය. මේ රටේ අපිට පෞද්ගලිකත්වයක් නැති ද? යන්නයි.

මේ කැමරා ඔසවා ගත් ගොබ්බයන් නොදැන සිටියා ද ලොව දියුණු සංස්කෘතීන් අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ශිෂ්ටකමක් සේ සලකයි. කෝටි ප්‍රකෝටි ගණන් ඉතා දැනුවත් ව හොරකම් කරන, පොදු දේපළ විනාශ කරන, වනාන්තර විනාශ කරන තැන්වලට මේ ගොබ්බයන් කැමරා රැගෙන යන්නේ නැත. තම හිඟන මාධ්‍ය ආයතනය පිහිටා ඇති තැනින් පාරට බැස මිනිසුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් කුණුරස බෙදීම මොවුන්ගේ ලොකු ම හපන්කමයි.

අත්වැරදීම් ලෙස මාර්ග නීති කඩකිරීම ඕනෑ ම විටෙක සිදු විය හැකි ය. එය ප්‍රවෘත්ති විකාශයක රටට ම පෙන්වන්නට මොවුන්ට ඇති අයිතිය කුමක් ද?
වගකිවයුතු අංශ කියා ජාතියක් මෙරට ක්‍රියාත්මක වේ නම්, මේ ගැන වහා ක්‍රියාමාර්ග ගත යුතු ය.

එදිරිසිංහලාට කිව යුතු දෙයක් ඇත.

ඒ ඔවැනි දේ කරනවාට වඩා හිඟාකෑම ඉතා ගෞරවාන්විත බව ය!

RSL

Related Posts