මහින්දගේ අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය අහෝසි නොවෙයි

Spread the love

මහින්ද රාජපක්ෂ මහතා තවමත් මෙරට අගමැතිවරයා බවත් අතුරු තහනම් නියෝගය හරහා ඔහුගේ අගමැති ධුරය අහෝසි නොවූ බවත් උතුරු ඉන්දීය කොදෙව්හි ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි.

අතුරු තහනම් නියෝගය පිළිබඳ වැරැදි මතයක් මෙරට දේශපාලනඥයන් සමාජය පුරා පතුරවමින් සිටින බවද හෙතෙම ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සිට පැවැසීය.

අතුරු තහනම් නියෝගයක් යනු නඩු තීන්දුවක් හෝ අවසානාත්මක තීන්දුවක් හෝ නොවන බවත් අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තාවකාලිකව එම ධුරයට අදාළ වැඩකටයුතු නවතා දැමීමක් පමණක් ඉන් සිදුවන බවත් ඔහු පැවැසුවේය.

අගමැති ධුරය දරන පුද්ගලයා එම ධුරය නීති විරෝධීව දරනවා යැයි එම අතුරු තහනම් නියෝගය හරහා කිසිසේත් නොකියැවෙන බවද හෙතෙම පැහැදිලි කළේය. මහින්ද රාජපක්ෂ මහතා දරනුයේ වැරැදි පත්වීමක් යැයි මේ අතුරු තහනම් නියෝගයෙන් නොකියැවෙන බවද නඩු විභාගය අවසානයේ ලැබෙන තීන්දුව හරහා එම ධුරය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්වනු ඇති බවද මහාචාර්යවරයා පැවැසුවේය.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය ලබා දෙන තීන්දු පිළිගැනීමට අකැමැති නම් අගතියට පත් පාර්ශ්වයට ශේ‍ර්ෂ්ඨාධිකරණයට යා හැකි බවත් විනිසුරුවන් තිදෙනකුගෙන් නොව පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටීමේ හැකියාවද පවතින බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි අතුරු තහනම් නියෝග ලබා දුන් අවස්ථාවලදී අදාළ පාර්ශ්ව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පිහිට පැතීම වරදක් නොවන බවද ඊට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයන් ලබා දිය හැක්කේ ශේ‍ර්ෂ්ඨාධිකරණයට පමණක් වීම යැයිද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙවර සිදුනොවුණද අභියාචනාධිකරණය මෙවැනි මතභේදාත්මක අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණයන් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට පසුබට නොවූ අවස්ථා මෙරට අධිකරණ ඉතිහාසයේ තිබුණු බවද ඔහු සඳහන් කළේය.

-මව්බිම-

RSL

Related Posts