විදේශිකයන්ට වසර 2ක නේවාසික වීසා

Spread the love

ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 300,000 ට වැඩි මුදලක් මෙරට ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන්ට වසර දෙකේ සිට වසර පහ දක්වා කාලයක් සඳහා නේවාසික වීසා බලපත් ලබාදීමට රජය තීරණය කරයි.

ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ට වැඩි මුදලක් ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන් සඳහා බදු සහන, වීසා කාලය දීර්ඝ කිරීම ඇතුළුව සහන රැසක් ලබාදීමට පියවර ගන්නා බවද සෘජු විදෙස් ආයෝජකයන්ට ලබාදෙන සහන තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන බවද මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

විදේශිකයන් විසින් ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය කළද විශාල මුදල් තොඟ එකවර විදේශයන්ට රැගෙන යාමේ දී නියාමනයක් සිදුකරන බවද අනෙකුත් විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කියාසිටී.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආයෝජන ගෙන්වා ගැනීම සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් මේ පියවර ගන්නා බවත් ණය පසුපස හඹා නොගොස් පොළී සංචිත රටතුළ ඉතිරිකර ගැනීමට ඒ තුළින් හැකිවන බවත්ය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ මුදල් ආයෝජනය කිරීම සහ බැංකුවල තැන්පත් කිරීම සම්බන්ධයෙන් ගැටළු නොමැති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට ද කිසිඳු බියකින් තොරව තම මුදල් මෙරට ආයෝජනය කිරීමේ හැකියාව තිබෙන බවත් ඒ අනුව තම අතිරික්ත මුදල් මෙරට බැංකුවල තැන්පත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත්ය.

විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව තිබෙන බව පෙන්වාදුන් මුදල් ඇමැතිවරයා කොටස් වෙළෙඳපොල, වාණිජ බැංකු සහ භාණ්ඩාගාර බැඳුම්කර ඒ අතර වන බවද වැඩි වශයෙන් ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා ලෙස ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් උපුටා ගනිමින් මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ රටේ ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ පැවැති බවට ප්‍රකාශයක් කළ බවත් ඒ තත්ත්වය වෙනස් කරමින් වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය යහපත් කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය. මහ බැංකුවේ අධිපතිවරයා නොමඟ යවීමට එම බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින අතර ඉදිරියේ දී ඔවුන් කවුරුන් ද යන්න ප්‍රකාශයට පත්කරන බවද හෙතෙම සඳහන් කළේය.

RSL

Related Posts