යළිත් ඉන්ෆුලුවන්සා අවදානමක්!

Spread the love

මහනුවර ශික්ෂණ රෝහල ආශ්‍රිතව ඉන්ෆුලුවන්සා (H1N1) මරණ දෙකක් සමඟ රෝගීන් රැසක් වාර්තා වීමත් සමඟ වෛරසය රෝහල පුරා පැතිර යෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ වසංගත රෝග හා වෛරස් රෝග විශේෂඥවරුන්ගේ උපදෙස් මත විශේෂ ආරක්ෂිත වැඩපිළි‍වෙළක් දියත්කර තිබේ.

රෝහලේ වකුගඩු ඒකකයේ රෝගීන් දෙදෙනකු හදිසියේ මියයෑමෙන් පසු රෝහල තුළ අදාළ වෛරසය පැතිර යමින් තිබෙන බව අනාවරණයවූ අතර මේ වන විට ඉන්ෆුලුවන්සා වෛරස් ආසාදිතයින් බවට සැකකෙරෙන රෝගීන් වෙන්කර ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත. ගැබිණි මවුවරුන්, කිරිදෙන මවුවරුන් හා කුඩා ළමයන්ට මෙම වෛරසය ඉක්මනින් ඇතුළුවීමේ අවධානමක් පවතින බැවින් ඔවුන් අත්‍යවශ්‍යම කරුණකට හැර රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. රෝගීන් බැලීම සඳහා පැමිණෙන පිරිස් මුඛ ආවරණ පළඳින්නේ නම් රෝගයෙන් ආරක්ෂා වීමට හැකි බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ වාට්ටු අංක 69 ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු හදිසියේ එකම දිනයක් තුළ මරණයට පත්වීම සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

ඉන්ෆුලුවන්සා (H1N1) වෛරසය රෝහල් භූමියේ පවතින බැවින් ආරක්ෂාකාරී වනලෙස බැනර් ප්‍රදර්ශනය කිරීමට ද රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත. වකුගඩු ඒකකයේ රුධිර කාන්දුකරණ ඒකක දෙකෙන් එකක් වෛරස් අසාදිතයින් බවට සැකකෙරෙන රෝගීන් සඳහා පමණක් වෙන්කිරීමට පියවර ගත්බව අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය. මේවන විට රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු ද මෙම රෝගයට ගොදුරුව තිබෙන බව වාර්තාවෙයි.

RSL

Related Posts