ශ්‍රී ලංකන් – මිහින් එයාර් දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්‌

Spread the love

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක්‌ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24 දා) පෙරවරුවේ කඩුවෙල සතිපොළ භූමියේ පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජනහමුවක්‌ අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරනු ලබන ජනහමු මාලාවේ තවත් එක්‌ ජනහමුවක්‌ ලෙස “දිනන කඩුවෙල – සටන අරඹමු” තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි.

ජනහමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දූෂණයට, වංචාවට හා අක්‍රමිකතාවට එරෙහිව මීට පෙර කිසිදු රජයක්‌ නොගත් තීන්දු තීරණ ගත් තමන් ඉදිරියේදී ද වංචාවට දූෂණයට හා අක්‍රමිකතාවට එරෙහිව දැඩිව කටයුතු කරමින් ශිෂ්ට සම්පන්න දේශපාලන පරපුරක්‌ මෙන්ම නොකිළිටි ජාතික දේශපාලන ව්‍යාපාරයක්‌ ගොඩනැගීමේ වගකීම ඉටුකරන බවයි.

හොඳ රටක්‌ ගොඩනැගීමට යන ගමනේදී හොඳ පළාත් පාලන ආයතන ව්‍යqහයක්‌ තුළ විනයක්‌ සහ හැදියාවක්‌ ඇති පළාත් පාලන නියෝජිතයන් පිරිසක්‌ බිහිකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා පුළුල් ජනතා මෙහෙවරක්‌ ඉටුකළ හැකි පළාත් පාලන ආයතන වංචාවෙන් සහ දූෂණයෙන් තොර ආයතන බවට පත්කළ විට එයින් අසීමිත ජනතා ප්‍රතිලාභ උදාකරදිය හැකි බවද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අපේක්‍ෂා කරන්නේ යහපත්, බුද්ධිමත් අවංක සහ රටට ආදරය කරන දේශපාලන පරපුරක්‌ ගොඩනැගීම බව සඳහන් කළ ජනාධිපතිවරයා පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්‌ වෙනුවෙන් කැපවූ බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ලෙයින් පෝෂණය වූ පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අරමුණ විය යුත්තේ එය බවද කියා සිටියේය.

පසුගිය සමයේ පළාත් පාලන ආයතන දැඩි දූෂිත තත්ත්වයකට පත්ව තිබූ අතර මිනීමැරුම් ස්‌ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම්, සහ රාජ්‍ය දේපළ අවභාවිතය සිදුකරමින් තම ගෞරවය කෙළෙසාගත් පිරිස්‌ අද එහි දඬුවම් විඳිමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

පළාත් පාලන ආයතන තුළ නව පරිවර්තනයක්‌ මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමග සිදුකරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එහිදී දූෂණයට, වංචාවට, හොරකමට සහ නාස්‌තියට එරෙහිව ගතයුතු ඉහළම තීන්දු තීරණ පක්‍ෂයක්‌ මෙන්ම ආණ්‌ඩුවක්‌ ලෙසද නොපැකිළිවම ගන්නා බව අවධාරණය කළේය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට ජී. එච්. බුද්ධදාස, වීරකුමාර දිසානායක, මංජුල බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයෝ රැසක්‌ එක්‌ව සිටියහ.

RSL

Related Posts