ඇප ඇතිව ශ්‍රීලංකන් කෝටි 1290ක් ගිලලා

Spread the love

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලංකා බැංකුවෙන් දී ඇති ණය මුදල් හයක්‌ යළි අයකර ගැනීම සඳහා හොඳ අත්තිවාරමක්‌ (භාණ්‌ඩාගාරයෙන් සහතික වීමක්‌) ලැබී නැතැයි පිළිගන්නා බව ලංකා බැංකුවේ අක්‌වෙරළ අංශයේ කළමනාකරු උපුල් කුමාර් විඡේගුණවර්ධන මහතා ඊයේ (27 දා) ශ්‍රී ලංකන් ගුවන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

අදාළ ණය මුදල් සඳහා මහාභාණ්‌ඩාගාරයෙන් ලැබී ඇත්තේ භාණ්‌ඩාගාර පහසුකම් සැපයීමේ ලිපි පමණක්‌ බවද ඒවා එම ණය මුදල භාණ්‌ඩාගාරයෙන් ගෙවා දමන බවට සහතික වීමක්‌ (ඇප වීමක්‌) නොවන බවද සාක්‍ෂිකරු කීවේය.

මේ අනුව රුපියල් බිලියන 12.9 ක (රු. කෝටි 1290 ක) සහ ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක ණය මුදල දිගින් දිගටම නොගෙවමින් පොලී මුදල් පමණක්‌ ගෙවමින් පවත්වාගෙන යන බවද සාක්‍ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. එම ණය මුදල් සහ හිඟපොලිය ගෙවා දමන ලෙස ලංකා බැංකුව විසින් මහාභාණ්‌ඩාගාරයෙන් ඉල්ලීම් කර ඇති බවද සාක්‍ෂිකරු කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් දැනට පියවා නොමැති රුපියල් කෝටි 1290 ක්‌ වටිනා ණය මුදල් සඳහා භාණ්‌ඩාගාරයෙන් ලබාදී තිබූ භාණ්‌ඩාගාර පහසුකම් සැපයීමේ ලිපි 2018 ජුනි 30 දින කල් ඉකුත් වූ බවද ඉන් පසු ඒවා තවමත් දීර්ඝ කිරීමක්‌ සිදුකර නොමැති බවද සාක්‍ෂිකරු තවදුරටත් කීවේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබා ගෙන ඇති ණය මුදල්වලට ගෙවා ඇති පොලී මුදල් ප්‍රමාණයන්ද එක්‌ එක්‌ ණය මුදල සඳහා වෙන වෙනම ගණනය කර සාක්‍ෂිකරු ඊයේ වගුවක්‌ ලෙස කොමිසමට ඉදිරිපත් කළේය.

කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම ඊයේ උදේ 10.00 ට පමණ රැස්‌විය.

-දිවයින-

RSL

Related Posts