මැලේසියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවකට දිවයයි

Spread the love

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබිණි.

මධ්‍යම පාන්තික නිවාස 14,000 ක් මෙරට ඉදිකිරීම සඳහා මැලේසියාවේ එකඟතාව පළ කෙරුණු අතර, ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

දැනට ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක විදේශ ආයෝජන ක්‍රම 47 ක් මැලේසියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන අතර, එය තවදුරටත් නංවාලීම තම අභිලාෂය බව ද මැලේසියා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම ආයෝජන තර කර ගැනීම පිළිබඳ ද නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

රාජ්‍ය නායක දෙපළ අතර සිදු වු ද්වි පාර්ශ්වික සාකච්ඡාවේදී මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ගුවන් තොටුපොළ කළමනාකරණය, මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම, විද්‍යා හා තාක්ෂණික, නැනෝ තාක්ෂණික සහ ජීව තාක්ෂණික, සංචාරක, වෛද්‍ය, අධ්‍යාපන, හමුදා නිලධාරින් පුහුණුව, බුද්ධි තොරතුරු හුවමාරුව, තානාපති නිලධාරින් පුහුණු කිරීම, ඊ- අධිකරණ තාක්ෂණය, කෘෂිකර්මය ආදි ක්ෂේත්‍ර ඊට ඇතුළත් වේ.

RSL

Related Posts