සාලාවේ ජන ජීවිතය නංවන්න හමුදාවෙන් 50,000ක්

Spread the love

salawa2කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශය පිළිසකර කැර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පනස්දහසකට වැඩි භට පිරිසක් යොදවා තිබේ.

භට පිරිස් දිවා රෑ නොබලා පැය 24 පුරාම නිවාස තුන්සීයක පමණ කැඩී ගිය කොටස් ඉවත් කරමින් සිටින අතර තවත් පිරිසක් එම නි‍වෙස් අලුත්වැඩියා කිරීමේ නිරතව සිටිති.

නිවෙස් හානි තක්සේරු කැර සම්පූර්ණයෙන් කැඩුණු නි‍වාස යළි ඉදිකිරීමටත් සෙසු ඒවා අලුත්වැඩියා කිරීමත් මේ වන විට වහ වහා සිදුවෙමින් පවතී. යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ විශේෂ කණ්ඩායමක් ඊට යොදවා තිබේ.

මේජර් ජනරාල්වරු හතරදෙනකු ඇතුළු යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සියලුදෙනා එම කටයුත්ත අධීක්ෂණය කරති.

හමුදා වාහන බැකෝ යන්ත්‍ර, ට්‍රැක්ටර්, ලොරි ඇතුළු වාහන විශාල ප්‍රමාණයක් ද මේ පිළිසකර කිරීමේ මෙහෙයුම සඳහා යොදවා ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැවැන්ත කාර්යය ඉටුකරන ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ (10) දහවල් සාලාව යුද හමුදා කඳවු‍රු භූමියේදී පැවැත්විණි.

එහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කෙළේ මේ සිද්ධියේදී වසං කරන්නට කිසිම දෙයක් යුද හමුදාවට නැති බවත්, එසේ කිරීමේ අවශ්‍යතාවයක් ද නැති බවත්ය. “හමුදාපතිවරයා වන මට ඇතුළු හමුදාවේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙවන් හදිසි අනතුරු තත්ත්වයකදී දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන්නේ මහජනතාවට මින් සිදුවූ හානිය සම්පූර්ණයෙන්ම නැතිකර ඔවුන් හිටපු ආකාරයෙන්ම සිටීමට ඉඩකඩ සලසා දීමටයි. ආණ්ඩුව මේ සඳහා විශාල සහායක් ලබා දී තිබෙනවා.

හමුදාවේ ඉහළ නිලධාරීන් අතර මෙහිදී භේදයක් ඇති බවට මතුකර දක්වන්නට ඇතැම් මාධ්‍ය ගන්නා උත්සාහය සම්පූර්ණ අසත්‍යයක්. මේ සිද්ධියේදී මියගියේ එක් හමුදා සාමාජිකයෙක් පමණයි. මේ අනතුර සිදුවූයේ කෙසේදැයි සොයා බැලීම සඳහා රහස් පොලිසිය සහ යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරනු ලබනවා. එතෙක් අපට මෙය සිදුවූයේ කෙසේද යන්න කිව නොහැකියි” යැයි හමුදාපතිවරයා පැවසීය.

යුද හමුදාව හැමදාමත් මහජනතාවට කරදරයක් සිදුවූ විට ඉන් බේරාගැනීම සඳහා පෙනී සිටිනවා යැයි හෙතෙම කීය. මේ අතර මේ අනතුරින් හානියට පත් ප්‍රදේශ රැකබලා ගැනීම සඳහා යුද හමුදාපතිවරයා සෑම ස්ථානයකටම පාහේ මාධ්‍යවේදීන් කැඳවාගෙන යනු ලැබිණි.

-දිනමිණ-

RSL

Related Posts