ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ගිවිසුම් 5ක්; නව ගමනකට මාවතක්

Spread the love

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථීක සහ වෙළෙඳ සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථීක කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව ඊයේ (16) පස්වරුවේ සිදු වූ අතර එහිදී මේ පිළිබඳ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කෙරිණි.

එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ්‍රී ලංකා සහ පිලිපීන ජාතක ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ.

එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයට එක් විය.

තමා වෙත සිදුකළ මෙම ගෞරවණිය ආරාධනය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමූ අතර පිලිපීන ජනාධිපතිවරයා කියා සිටියේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික අවස්ථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරයත් සමඟ සනිටුහන් වනු ඇති බවයි.

දෙරටටම ප්‍රතිලාභ ලැඛෙන අයුරින් දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් පුළුල් ලෙස සාකච්ඡා කළ අතර එම කටයුතු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට ද අවධානය යොමු විය.

දෙරට අතර ආර්ථීක සහ වෙළෙඳ කටයුතු ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ආර්ථීක කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ ව ද රාජ්‍ය නායකයෝ සාකච්ඡා කළහ.

එමෙන්ම දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, කෘෂිකාර්මික තාක්ෂණික පුහුණු කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා ඉහළ නංවා ගැනීමේ වැදගත්කමත්, ආපදා කළමණාකරණ කටයුතුවලදී ද සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

දෙරට අතර ගුවන්ගමන් සේවා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට ලබන මාර්තු මාසයේ දී පිලිපීන නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන බව පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැප ව සිටින බවත්, ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති අතර එහි දී දෙරටට සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.

එමෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීම වෙනුවෙන් කැපවීමේ වැදගත්කම නායකයන්ගේ සාකච්ඡාවට බඳුන් වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලීපන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතාගේ කැපවීම අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ පිළිබඳ ජාත්‍යන්තරයේම අවධානය යොමුව තිඛෙන බව ද කියා සිටියේය.

කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරුව නැවතීමට පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ද අගය කළ ජනාධිපතිවරයා මිනිස් ජාවාරම මැඩලීම සහ කලාපයේ ආරක්ෂක කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

කලාපයේ රටවල් ලෙස එල්ල වී ඇති සියලූ අභියෝග ජය ගැනීමේ දී සාමුහිකව කටයුතු කිරීමේ වැදගත්ම පැහැදිළි කළ ජනාධිපතිවරයා මනා අවබෝධයකින් යුතුව ශ්‍රී ලංකා – පිලිපීන සබඳතා දෙරටේම යහපත වෙනුවෙන් ඉදිරියේදී වඩාත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමටත් පෙර පිලිපීනයේ ජාතික වීරයෙකු ව ආචාර්ය Jose Rizal මහතා 19 වැනි ශතවර්ෂයේ දී ශ්‍රී ලංකාවේ තෙවරක් ම සංචාරය කර තිඛෙන බවත්, ඉන් දෙරට අතර අතීතයේ පටන් පැවති මිත්‍රත්වය මැනවින් පෙන්නුම් කරන බවත් ය.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව සහ පිලපීනය අතර ආර්ථීක, සංචාරක, කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අත්සන් තැබුණු මෙම නව අවබෝධතා ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය අත්සන් තැබුවාය.

මේ අතර පිලිපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමට ද අද පෙරවරුවේ ජනාධිපතිවරයා එක් විය.

මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ගිය ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

පිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කිරීම උදෙසා මෙම ස්මාරකය ඉදිකර තිබේ.

RSL

Related Posts