කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?

Spread the love

මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි දෙමළ සන්ධානය විපක්ෂය කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂනායක දුන්නද ඇසට පෙනෙන සත්‍ය නම් රටේ ජනමතයට සහ පාර්ලිමේන්තුවේ ආසන ගණන ගත්තද විපක්ෂය තිබෙන්නේ ඔවුන්ට නොව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සතුව බවයි. මේ වන විට ඔවුන් සතුව සන්ධානය සතු මන්ත්‍රී ආසන 95 න් 55කට එහා තිබේ.

මීට පෙරද ඒකාබද්ධ විපක්ෂය විසින් විපක්ෂ නායකධුරය තම කණ්ඩායමට ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලූ අතර එය කථානායකවරයා සහ ආණ්ඩුව විසින් උපක්‍රමශීලි ලෙස මඟ හැර ගියහ. එහෙත් මෙවර සටන ත්‍රීව වී ඇත. ඒකාබද්ධය විසින් විපක්ෂනායක කම තම පාර්ලිමේන්තු කණ්ඩායමේ දිනේෂ් ගුණවර්ධන හට ලබාදෙන ලෙස ඉල්ලීම් කළේ ඔවුන්ගේ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්ගේද අනුමැතිය ඇතිවය. එහෙත් දින කිහිපයක් කල් මරා අවසානයේ කථානායකවරයා පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ විපක්ෂනායක ධුරය දිනේෂ් ගුණවර්ධනට ලබාදිය නොහැකි බවත්, ආර්.සම්බන්ධන් තවදුරටත් විපක්ෂනායක ධුරයේ කටයුතු කරන බවත්ය. කථානායකවරයා මෙම පදනමක් නැති තීන්දුව සම්බන්ධයෙන් කිසිඳු කරුණු දැක්වීමක්වත් සිදුකළේ නැත.

මෙරට ජනතා පරමාධිපත්‍රයේ ප්‍රතිමූර්තිය වූ පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට විපක්ෂය සහ විපක්ෂ නායකත්වය නොදී එය නොපිළිගන්නට කථානායක කරු ජයසුරියට ඇති ඒකාධිපති හෝ විධායක බලය කුමක්ද..?

කරු පිටුපස කවුද..?

කථානායකවරයාට ජනාධිපතිවරයාට ඇති විධායක බලයක් හෝ එවැන්නක් නොමැත. එහෙත් කථානායකවරයා ගත් මෙම ජනතා විරෝධී තීන්දුවෙන් ඔහු ගිලගත් විධායක බල ඇති ඒකාධිපතියෙකු ක්‍රියාත්මක වන බව පෙනෙන්ට තිබේ.

සැබැවින්ම මහින්ද රාජපක්ෂ පුමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ ගුණවර්ධන විපක්ෂනායක ලෙස පත්වීමත්, විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ නිල පිළිගැනීම ලැබීමත් දේශපාලනිකව බලපාන්නේ කා හටද..? ඒ අන් කිසිවෙකුට නොව දේශපාලන පදනමක් නොමැතිව ජනාධිපතිධුරය නැමැති විධායකයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අතට ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය.

2015 ජනාධිපතිවරණයේ පොදු නිර්පාක්ෂික අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ඊලඟ දේශපාලන අඩිය ගැසීම සඳහා සිදුකළේ ශ්‍රීලනිපය තම අතට ගැනීමයි. ඒ සඳහා ඔහු 2015 ජනවාරියේ ජනාධිපති වූදා සිට මේ මොහොත දක්වා නොගත් උත්සහයක් නොමැත. අවසානයේ එදා තමාට සහය දුන්, තමා වැළඳගත් එක්සත් ජාතික පක්ෂයත්, පාක්ෂිකයාත් නැත්තටම නැති කරගත්තේය. ජනතාවගෙන් නොඅසා ගත් බැනුමක්, ඇනුම් පදයක් නොමැති තරම්ය. එහෙත් මේ දක්වා ඔහු ශ්‍රීලනිපයේ හෝ සන්ධානය හෝ පාක්ෂිකයින් හෝ ඔවුන්ගේ හදගැස්ම දිනාගැනීමට හෝ හඳුනාගැනීමට අපොහොසත්ව ඇත. ජනාධිපති සිරිසේනට මේ වන විට ඉතිරිව ඇත්තේ 2015 අගෝස්තුවේ මහමැතිවරණයෙන් මහින්දගේ පිහිටින් දිනාගෙන තමා දෙසට නම්මවාගෙන සිටින මන්ත්‍රීවරුන් අතලොස්ස පමණි. ඔහුට ඔහුගේම කියා හදවතින්ම හිතවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකුවත් සොයාගැනීමට අපහසුබව හොදින්ම දන්නේ අප නොව ඔහුය. සන්ධානය ප්‍රමුඛ ශ්‍රීලනිපයේ කොටසක් මෛත්‍රී ආණ්ඩුවට සම්බන්ධ කොට ඇමතිකම් ඇතුළු විවිධ වරදාන වරප්‍රසාද ලබා දී තිබුණද, එහි බහුතරය සිටින්නේ දිනේෂ විපක්ෂනායක කම ඉල්ලන ඒකාබද්ධ විපක්ෂය සමඟය. එවැනි පසුබිමක් තුළ සිරිසේන ජනාධිපතිවරයෙකු ලෙස තමාට ඇති අවම දේශපාලන රැකවරණයවත් ඉවත්කර ගැනීමට ඉඩ දී බලා සිටින්නේ කෙසේද? ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ සභාපතිකම අල්ලාගත් මෛත්‍රී එහි නමට හෝ නිලවශයෙන් සිටින පිරිස මහින්දගේ ඒකාබද්ධය නිලවශයෙන් විපක්ෂය ලෙස පිලිගෙන ඔහුට භාරදී ඉදිරියට මුහුණ දෙන්නේ කෙසේද..?

එදා වාසිය අද අවාසිද..?

2015 ජනවාරි 09 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය ලෙස පිළිගෙන එම පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා විපක්ෂනායක ලෙස පිළිගෙන දින 100 වැඩ පිළිවෙළ ඇතුළු දේශපාලන ක්‍රියාදාමයන් සිදුකිරීමට ප්‍රමුඛත්වය ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද ඒ ශ්‍රීලනිපයේ, සන්ධානයේම කොටසක් විපක්ෂය ලෙස පිළිගැනීමේ ඇති ගැටළුව තමන්ගේ දේශපාලන අවදානම නොවන්නේද..?

රටේ ජනතාවට ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේශපාලන අශිලාභයන් හෝ න්‍යාය පත්‍ර අදාළ නැත. එසේම කථානායකවරයාට තම ධුරය අවභාවිතාකරමින් ජනාධිපතිවරයාගේ දේශපාලන රැකවරණය තනන්නට ජනතාවගේ හඬ නියෝජනය කරන පාර්ලිමේන්තුව සහ විපක්ෂය උකසට තැබිය නොහැක. එම නිසා කථානායකවරයා ස්වාධීන විය යුතුය. සෘජු විය යුතුය. අප දන්නා තරමින් මෙරට කෘතහස්ත දේශපාලන ගමනකට හිමිකම් කියන වත්මන් කථානායක කරු ජයසුරිය තම ධුරය අවභාවිතාකරමින් හෝ වෙනත් අයෙකුගේ දේශපාලන අතකොලුවක් වෙමින් කටයුතු කරයි නම් ඔහු ඒ සිදුකරගන්නේ තමන්ගේ සුදු පිරුවට මඩේ උනාගැනීමකි.

කථානායකවරයා තම ධුරයේ ගරුත්වය සහ අපක්ෂපාතීත්වය රැකගනිමින් ජනතා මතයට අනුව විපක්ෂයත්, විපක්ෂනායකත්වයත් හිමිවිය යුත්තන්ට නිතැතින්ම හිමිකර දිය යුතුය. ඒ තුළින් ඔහු තම ගරුත්වයත්, ධුරයේ ගරුත්වයත්, පාර්ලිමේන්තුවේ ගරුත්වයත් රැකදෙනු ඇත.

-හසිත මානන්දුව-

RSL

Related Posts