මෛත්‍රි තරම් දුක් ගැහැට විඳි නායකයෙක් ශ්‍රීලනිපයේ නැහැ

Spread the love

මෛත්‍රිපාල සිරිසේන මහතා තරම් දුක් ගැහැට විඳි තවත් නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ එදා මෙදා තුර නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සඳහන් කරයි.

පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් ඉන්පසු නායකත්වයට පත් සිරිමාවෝ මැතිනියත් එදා පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ තාඩන පීඩනයන්ට ගොදුරු වූ බවත් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කිරීමෙන් පසු ජනතා නියෝජිතයන් පක්‍ෂය හැරගිය බවත් චන්ද්‍රිකා මැතිනියද එවැනි ඉරණමකට ගොදුරු වූ නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන්ද ලැබුණේ විශාල සහයෝගයක් බවත් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩිම දුක් ගැහැට විඳි නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා ජනාධිපතිවරණයට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයක් අහිමි කරගෙන. අද ජනාධිපතිතුමා සමඟ එකට වේදිකාවේ ඉන්නේ එදා ජනාධිපති කරන්නට කැප වූ පිරිස නොවේ. අපි සියලු දෙනා කැප වුණේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරන්නට. අපි කවුරුත් පක්‍ෂය හැරගියේ නැහැ. එදත් ඔය දකින සෙනඟට වැඩි සෙනඟක් මහින්ද මහත්තයා වටේ හිටියා. ඒත් අපි කවදාවත් හිතුවේ නැති විදිහට මහින්ද මහත්තයා පැරදුණා. ජනාධිපති වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා. පක්‍ෂ ව්‍යවස්ථාවේ හැටියට ජන නායකත්වයට පත් වුණාම පක්‍ෂයේ සභාපතිත්වය හිමි වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට. ඒ අනුව ශ්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයන් හැටියට අපි එතුමා වටා රොක් වුණා. නමුත් පක්‍ෂ නායකත්වයට අද ආවඩන පිරිසක් ඉන්නවා. මේ පක්‍ෂවලට අද තනි ගමනක් යන්නට බැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට දමාගෙන ඔවුන් ආණ්ඩුවට අභියෝග කරනවා. හැබැයි කවදාවත් කරගන්න බැරි තර්ජන කරනවා. මාසයකින් වෙසක් පෝයකින් ආණ්ඩුව ගෙදර යවන බව කියනවා. එහෙම කරන්න බැහැ. තවත් මැතිවරණයක් තියන්න ව්‍යවස්ථාව හැටියට බලය තියෙන්නේ 2021 අවුරුද්දේ. ඉන් මෙහා ආණ්ඩු පෙරළන බව කියන්නේ තමා වටා ඉන්න ජනතාව රැවට්ටීමට. ආණ්ඩුව පෙරළන බව කියමින් ජනතාව රවටමින් ඔවුන් ජනතාව උගුලක හිරකරගෙන ඉන්නවා. මේවා තේරුම් ගත්ත බහුතර ජනතාවක් දැන් දැන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වටා රොක් වෙනවා. එය පැහැදිලිව මේ මැයි දින රැලියෙනුන් තවුරු වුණා.

අපේ මැයි දින රැලියට එදා බුලත් කොළයට ඡන්දය දීපු අයත් ආවා. එය සංවිධානය කළෙන් බුලත් කොළයට ඡන්ද දීපු අපි හංසයාට ඡන්දය දීලා මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරපු අය මැයි දිනයදා හිටියේ කැම්බල් එකේ. එකේ මුස්ලිම් කොංග්‍රසයේ, දෙමළ ජාතික සංවිධානයේ ඒ අය අපේ මැයි රැලියට ආවේ නැහැ. අපිට පක්‍ෂය බින්දුවේ සිට ගොඩනඟන්නට සිදුවුණා. වසර 3කින් පක්‍ෂය ඉහළම තලයට ගේන්නට අපිට හැකි වුණා. එහි ප්‍රතිඵලය තමයි අති විශාල ජන සන්නිපාතයක් ආවෙ ගැටඹේ පෙළපාළියට.

RSL

Related Posts