කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ 15ක් හිරේ; 11ක් රෝහලේ

Spread the love

යකඩ පොලු, බයිසිකල් චේන්, වීදුරු බෝතල්, පොලු මුගුරුවලින් සන්නද්ධ වූ කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ශිෂ්‍යයන් හාරසියයකට අධික පිරිසක්‌ එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් මහ මඟ ගමන් ගත් වාහනවලටද පහර දී යකා නැටීම නිසා ඊයේ (15 වැනිදා) දහවල් පුංචි බොරැල්ල ප්‍රදේශය එකම යුද පිටියක්‌ බවට පත් විය.මෙම ගැටුමින් පාසල් දෙකේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් 11 දෙනෙක්‌ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලු මුගුරුවලින් සන්නද්ධ වූ පාසල් ශිෂ්‍යයන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ ලංගම බස්‌ රථ දෙකක්‌ ඇතුළු වාහන අටකටද මෙහිදී බරපතළ හානි සිදු විය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූ මරදාන පොලිසිය කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 8 දෙනකු සහ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයකු සහ තරුණ ශිෂ්‍යාවක මුල් කරගෙන ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් අතර පෙරේදා (14 වැනිදා) බොරැල්ලේ ප්‍රදේශයේදී ඇති වූ ආරවුලක්‌ මෙම ගැටුමට හේතු වී ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලින් හෙළි විය.

ඊයේ දහවල් 1.30 ට පමණ පාසල් අවසන් වීමෙන් පසු ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් තුන්සියයකට ආසන්න පිරිසක්‌ යකඩ පොලු පුටු කකුල්, වීදුරු බෝතල්, ගල් පොලු මුගුරු බයිසිකල් ෙච්න්වලින් සන්නද්ධ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමට පුංචි බොරැල්ල ප්‍රදේශයට ගොස්‌ ඇත.

මෙම ගැටුම පිළිබඳව පොලිසියට කලින්ම තොරතුරු ලැබී තිබූ අතර, බොරැල්ල පුංචි බොරැල්ල සහ මරදාන ප්‍රදේශවලට විශේෂ ආරක්‌ෂාවක්‌ද යොදවා තිබිණි.

සන්නද්ධව පැමිණි ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් නාලන්ද විදුහල ඉදිරිපිට නවතා තිබූ ලංගම බස්‌ රථ දෙකට මුලින්ම පහර දී ඇති අතර, පසුව එහි සිටි ශිෂ්‍යයන්ටද ඉවක්‌ බවක්‌ නොමැතිව පහර දෙන්නට පටන් ගෙන ඇත.

එහිදී නාලන්ද ශිෂ්‍යයන්ද ආනන්දයේ ශිෂ්‍යයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම ගැටුම අවස්‌ථාවේ මහ මඟ ගමන් ගත් මෝටර් රථ දෙකකට සහ වෑන් රථ දෙකකටද ගල් මුල් ප්‍රහාරවලට ලක්‌ වී දැඩි ලෙස හානි සිදු විය.

පැය භාගයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති ගැටුම බොරැල්ල සහ මරදාන පොලිස්‌ ඒකාබද්ධ කළ මෙහෙයුමකින් පාලනය කළ අතර, පසුව ගැටුම මෙහෙය වූ ශිෂ්‍යයන් දස දෙනෙකුද අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ඊයේ සවස මරදාන පොලිසියට කැඳවීමට කටයුතු කර තිබිණි. මෙම ගැටුම සම්බන්ධයෙන් විදුහල් දෙකේ විදුහල්පතිවරුන් සහ ගුරු මණ්‌ඩලය සමඟ සාකච්ඡා කර විසඳුම් ගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසයි. කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මරදාන සහ බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වේ.

RSL

Related Posts