දූෂණ චෝදනා සමඟින් සනත් ජයසූරියගේ ක්‍රිකට් ජීවිතය අවසන් වෙයි!

Spread the love

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක සනත් ජයසූරීයට ක්‍රිකට් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර දෙකක කාලයක් සඳහා තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.

ක්‍රිකට් වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙතත් බලධාරීන් වෙතත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව අවස්ථා කිහිපයකදීම විමර්ශන දියත් කෙරුණු අතර 2017 වසරේ සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ලැබුණු පැමිණිලි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවකට තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සනත් ජයසූරීයගෙන් අවස්ථා දෙකකදී ප්‍රශ්න කරනු ලැබීය.

එහිදි සනත් ජයසූරියගේ ජංගම දුරකථනයක් පරීක්ෂණ සඳහා භාරදෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම ඔහුට චෝදනා එල්ල වීමට හේතු විය.

ඒ අනුව සනත් දූෂන විරෝධි නීති සංග්‍රහයේ නීති දෙකක් උල්ලංඝණය කර ඇති බව සඳහන් කරමින් 2018 ඔක්තෝබර් මස 15 වැනි දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට ලිපියක් මගින් දන්වා තිබුණි.

කෙසේවෙතත් එම පරීක්ෂණ අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුනසිලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දූෂන විමර්ශණ ඒකකයේ පරීක්ෂණ සඳහා සනත් ජයසූරීය සහයෝගය ලබා නොදීම හේතුවෙන් ඔහුට වසර දෙකක තහනමක් පැනවීමට තීරණය කළ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ ආකාරයට සනත් ජයසූරීය කඩ කළ එක් නීතියක් වූයේ දූෂන විරෝධි ඒකකය මෙහෙයවු පරීක්ෂණයට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාල තොරතුරු හෝ ලේඛන නිවැරදි ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමයි.

ජයසූරීය කඩ කළ දෙවන නීතිය ලෙස සඳහන් වූයේ පරීක්ෂණයට අදාළ හෝ පරීක්ශණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම සහ දූෂන විරෝධි ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීමයි.

මේ අතර සනත් ජයසූරිය අද පස්වරුවේ මේ සම්බන්ධයේන සිය ප්‍රතිචාරය දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමඟින් ජයසූරිය පෙන්වා දී තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය යටතේ කළ පරීක්ෂණවලදී තමා සතු සිම් කාඩ්පත සහ ජංගම දුරකතනය කඩිනමින් පරීක්ෂණ සඳහා ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇති අතර දූෂණ චෝදනා, තරග පාවාදීම් සහ රහසිගත තොරතුරු අනාවරණය කිරීම් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී නොමැති බවයි.

තමා මෙතෙක් තම ක්‍රීඩා ජීවිතය තුළ උපරිම අවංකභාවයෙන් යුතුව කටයුතු කළ බවත් සෑම විටම තමන් රට ප්‍රධාන කර කටයුතු කර ඇති බවත් ඔහු එමඟින් දක්වා තිබේ.

RSL

Related Posts