මාධ්‍ය අපේ ඇඟේ තිබෙන දෙයක්

Spread the love

ජනමාධ්‍ය සමඟ මෙන්ම ජනමාධ්‍යවේදීන් සමඟත් සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තීය නඟාසිටුවීමට උපරිම අන්දමින් කටයුතු කිරීම තම බලාපොරොත්තුව බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ප්‍රකාශ කෙළේය.

ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (25) පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරමින්ය.

එහිදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙසේද පැවැසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටට පත් වෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කරන අතරම මා ගැන විශ්වාසය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මට භාරදීම ගැන මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිය පළ කරනවා.

2015 වසරේදී අපි ලද ජයග්‍රහණයත් සමඟ ජනමාධ්‍ය නිදහස ඇති කිරීමට අපට පුළුවන් වුණා. ඒ නිදහස ආරක්ෂා කර ගනිමින් රටේ ජනමාධ්‍ය නඟා සිටුවීමටත් 2015 දිනාගත්ත මාධ්‍ය නිදහස ඉදිරියටත් ආරක්ෂා කර දීමටත් මම කැපවෙනවා.

මේ රටේ මාධ්‍යවේදීන් ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බව මම දන්නවා. එවැනි ගැටලු පිළිබඳ සාකච්ඡා කරලා මාධ්‍යවේදීන්ට වෘත්තිකයන් ලෙස ඉහළට යෑමට අවශ්‍ය සහන ලබා දෙන්නටත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.

මේ දිනවල රාජ්‍ය මාධ්‍ය ආයතනවල යම් යම් ගැටලු තිබෙනවා. මතු වී ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදාගෙන එම ආයතන යථා තත්ත්වයට පත් කිරීමයි මගේ බලාපොරොත්තුව වන්නේ. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි කාලවලදී රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හොඳ මට්ටමක පැවැතුණා. එම ආයතන යළි එම තත්ත්වයට ගෙන ඒම මගේ අරමුණයි.

කවුරුත් දන්නවා මාධ්‍ය අපේ ඇඟේ තිබෙනවා. මගේ සීයා ඩී.ආර්. විජයවර්ධන මේ රටේ ජනමාධ්‍යයට වගේම නිදහස වෙනුවෙනුත් විශාල සේවයක් කැපකිරීමක් කළා.

RSL

Related Posts