සමන් මලින් පවන් සැලේ..!

Spread the love

අපේම සදාදර සමන් රත්නප්‍රිය අයියා වෙත,

මේ ලිපිය ලියන්නේ, ඔයාලගේ චීන සංචාරය වෙනුවෙන් සුබ පතන්නට යි. ලියුම් ලිවිල්ල දැං ඒ තරං කවුරුවත් ගණං ගන්නේ නැති උණත් ලියුමක් එවන්න හිතුවෙ වෙනසකටත් එක්ක. වෙනසට ඔයත් හුඟක් කැමතියි නෙ. “වෙනස සැප ද?” කියල මහින්ද මහත්තයගෙ කට්ටිය තමයි අහන්නෙ. එයාලට එහෙම අහන්න කිසිම අයිතියක් නැති වුණත් වෙනස සැප නැති බව සිහි බුද්ධියක් ඇති ඕන කෙනෙක් දන්නවා. කීප දෙනෙක් ඇරෙන්න.

ලංකාවේ සිවිල් මිනිස්සු ඉතිං කිසි දේකට වැඩිය එන්නෙ කරන්නෙ නැති නිසා, ඔයාලා තමයි එයාලගෙ නියෝජනය වුණේ. පස්සෙ ඉතිං සිවිල් මිනිස්සු හිතන-මතන-පතන ඒවා ඔය සිවිල් සමාජ කට්ටිය සත පහකට ගණන් නොගෙන තමන්ම සිවිල් සමාජය වුණානෙ. සිවිල් සමාජ ක්‍රියාකාරිකයො විදිහට ඔයාලා හදා ගත්තා සිවිල් නමක්. විසිල්වල පිහිටෙන්, සිවිල් නම හදාගෙන සිවිල් බලයක් හදාගෙන ඒක ඉතිං දැං දහබලු වැඩවලටත් යොදෝනව කියල සිවිල් බලයක් නැති සිවිල් සමාජයෙ හුඟක් අය දන්නව.

සමන් අයියගෙ සහෝදරයෙකුටත් මොකක්ද උපදේශක පට්ටමක් ලැබුණ ද නැත්තං ගන්න වලිකෑවද කියලත් පහුගිය දවස්වල ආරංචි පැතිරිලා ගියා. වෙහෙරවල් ගිලපු රටේ අග්ගල නං මොනාද.. නේ ද?

අලුත්ම ආරංචිය තමා ආව, සමන් අයියල කට්ටියක් එක්ක චීනෙ සංචාරෙකට යනව කියලා. දෙකක් නෑ රනිල් මහත්තය තමයි ඕක අටවන්නෙ. බොරු කියල හෝදන්න බැහැ ඕව. රනිල් ලොක්ක ජේ.ආර්.ගෙ බෑණා වෙච්චි, ජේ.ආර්.ගෙ කැබිනට් මණ්ඩලේ ඇමතිකං කෙරුව වෙච්චි, මොන යකෙක්ටවත් බෑ එයා එක්ක හැරෙන්න. දැං ඉතිං ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය පවා සමරන්නෙ රනිල් ලොක්කනෙ. කට්ටිය බාන්න ලොක්ක දෙන ඇමක් තමයි මේ. ආයෙ කතා දෙකක් නෑ.

සිරිකොතෙන් පංගාර්තු කරන මේ සංචාරෙ ගැන නොතේරෙන්න ඉතිං සිවිල් කට්ටියත් බබ්බු නෙවිනෙ. අයියත් බබා නෙවෙයි නෙ. කෝම කෝම හරි කමක් නෑ සංචාරේ ගිහිං එන්න. පරෙස්සමට.. අයියට ඉතිං සෞඛ්‍ය ගැන කියන්න දෙයක් නෑනෙ.

සමහරු නං කසු-කුසු ගානව ලංකාවෙ දේශපාලන පක්ෂ එපාවෙලා හිටපු මිනිස්සුන්ට දැං සිවිල් සංවිධානත් එපා වෙන තැනට වැඩ සිද්ද කොළේ අයියල කියලා. කොහොම වුණත් දැං අපේ රටේ හුදී ජනය දන්නවලු ආණ්ඩු මාරු වෙනකං සිවිල් සමාජ ක්‍රියාකාරිකයො විදිහට වැඩ කරන ඈයො අලුත් ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන “සිවල් සමාජ ක්‍රියාකාරිකයො” වෙනව කියන එක. ඒවා ඉරිසියා කාරයින්ගෙ කතා. වැඩිය හිතන්න එපා. සංචාරෙ වැඩේ බෙදා හදාගෙන යන්න බලන්න. රණ්ඩු සරුවල් වුණාම ඕවත් ඉරිසියාකාරයො උන්ගෙ වාසියට හරෝ ගන්නව.

අයියට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. ආරස්සාවයි.

මගෙන් සුබ පැතුම්!

මීට ආදර පොඩිමහත්තයා

උපුටා ගැනීම: නිවහල්

RSL

Related Posts