ජනාධිපතිතුමන්ව රැකගෙන අප ඔහු සමඟ ඉදිරියට යා යුතුයි – සජිත්

Spread the love

මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමච්චල් කළ නිග්‍රහ, අපහාස කළ අය අද එතුමත් එක්ක එකතු වෙන්න හදන්නේ ඔහුව දේශපාලනයෙන් සදහටම බවත්, ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යෑමට එතුමන්ව ආරක්ෂා කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදි කළ 150 වැනි උදාගම්මානය වන ‘ජයනෙතුගම’ ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක් වෙමිනි.

නව නිවාස දහඅටකින් සමන්විත වන අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ 114ක පමණ මුදලක් වැය කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 20 වැනි උදාගම්මානය මෙයයි.

ජනාධිපතිතුමා 2007 වසරේදී ඇමැතිවරයකුව සිටියදී එතුමාගේ සංකල්පයක් මත මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය ආරම්භ කළ බව ප්‍රකාශ කළා. නමුත් මොරගහකන්ද මුල්ගල තබා පැය 48ක් ඇතුළත එතුමාගේ ඇමැතිකම මාරු කළා. පසුව මහවැලි සංවර්ධන විෂය පමණක් ඉතිරි කළා. නමුත් 2007 සිට 2012 දක්වා මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා තඹ සතයක්වත් එවක පැවැති ආණ්ඩුවෙන් කළේ නැහැ. ඔවුන් එසේ සිදු කළේ ඇයි? ඒ දේශපාලන කුහකකම නිසයි. මෛත්‍රිපාල සිරිසේන කියන මිනිසා ඉස්මතු වේවි කියන බයටයි ඔවුන් එසේ කළේ. සිය අතපය දිගු කර කිසිදු දූෂණයක් නොමැතිව කළුගඟ – මොරගහකන්ද ව්‍යාපෘතිවල වැඩ කටයුතු කරන්නට අවස්ථාව උදා වුණේ 2015 වසරේ ජනවාරි 08 වැනිදා එතුමා යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිතුමන් වූ පසුවයි.

එදා මේ මහ පරිමාණ ව්‍යාපෘතියට බාධා කළ පිරිසට ජනාධිපතිතුමන් සමඟ එකට දේශපාලන දීගකන්න අවශ්‍යයිලු. එකතු වන්නට ඕනෑලු. එකතු වී සිටි කාලයේ සිදු කළේ කුමක්ද? මෛත්‍රිපාල සිරිසේන මහතාව කපා දැම්මා. එතුමාව කොන් කළා. පැත්තකට විසිකර දැම්මා. ඇමැතිකම මාරු කළා. මුදල් ලබා දුන්නේ නැහැ. දැන් කියනවා අපි එකතු වෙනවලු. ආයේ මේ එකතු වෙන්න හදන්නෙත් එතුමාව නැවත කපා දමන්නට නේද? එය එතුමාව දේශපාලනයෙන් පැත්තකට කිරීමේ උපක්‍රමයක් නේද? එදා කළුගඟ – මොරගහකන්දට මුදල් වෙන් නොකළ, සිරිසේන නාමය මතු වෙයි කියා බය වුණු පුද්ගලයන් අප එකතු වෙනවා කියා පැවැසීම ලොකුම විහිළුවයි.

බැරි වෙලාවත්් එදා පරාජය වුණා නම් එතුමා සහ පවුලේ අය ජීවතුන් අතර නැහැ. දැන් එකතු වෙන්නට හදනවා. මරු දේශපාලනය. මෙම දේශපාලනය රටේ ජනතාව පිළිගන්නවාද? අවස්ථාවාදී මෙම දේශපාලනය ජනතාව තේරුම් ගත යුතුයි.

ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යන්න හදන විට විරුද්ධවාදීන් ඒකට බාධා කරනවා.අකුල් හෙළනවා. විරුද්ධවාදීන් ජනාධිපතිතුමා සමඟ එකට එකතු වෙනවා කියා සූදානම් වන්නේ එතුමාව දේශපාලනයෙන් ඉවත් කර දමන්නටයි. රටේ සින්නක්කර ඔප්පුව එක පවුලකට ලියා ගන්නයි. රට ගැන රටේ සම්පත් ගැන මහ ලොකුවට කෑ මොර දෙන උදවියගේ සැබෑ තත්ත්වය පසුගිය දිනවල රටේ ජනතාව පාර්ලිමේන්තුවේදී අප දුටුවා. එම නිසා සත්‍යය අවබෝධ කර ගන්නට කියා රටේ ජනතාවට මා ප්‍රකාශ කරනවා. ඔබ බොරුවලට රැවටුණොත් පාඩුව අපට නොවෙයි, ඔබටමයි.

-මව්බිම-

RSL

Related Posts