සයිටම් සිසුන් නෙවිල් ප්‍රනාන්දුගේ අත්අඩංගුවේ!

Spread the love

“මෙම ලිපිය ලියන මගේ දරුවා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ 10 වෙනි කණ්ඩායමේ ඉගෙනුම ලබයි.මෙම වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධයක්ද පැන නැගී ඇතත් ඒ කිසිදු සංවාදයකදී සයිටම් ආයතනයේ සිසුන් මුහුණදී ඇති අසාධාරණය පිලිබදව සාකච්චා කෙරෙන්නේ නැත.අප ඉතා දුෂ්කර ලෙස මුදල් සොයාගෙන අපේ දරුවන් මෙම ආයතනයට ඇතුලු කලේ කෙසේ හෝ ඔවුනට උසස් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. එහෙත් ආයතනයේ හිමිකරුවන්ගේ විශේෂයෙන් දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික අරමුණු නිසා අපේ අරමුණු සියල්ල සුන් වී ඇත.අපි බලාපොරොත්තු කඩවූ තත්වයට පත්ව සිටිමු.රුපියල් ලක්ෂ 100ත අධික මුදලක් අපෙන් ලබා ගත් නමුත් අපේ දරුවන්ට ලංකාවතුල වෛද්‍ය වෘතියේ නියැලීමට අවකාශ ලැබේදැයි යන්න සැක සහිතය.අප අපේ දරුවන් මෙම ආයතනයට ඇතුලු කරද්දී ආණ්ඩුවේ සහය තමන්ට ලැබෙන නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහය සහ රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගත හැකි බවට සයිටම් ආයතනය සහතික වුවත් ඒ සියල්ල දැන් අසත්‍ය බව දැන් පෙනී ගොස් ඇත. ඊටත් වඩා ප්‍රශ්නය මෙම ආයතනය වැඩි වැඩියෙන් ලාබ ලැබීම මිස සිසුන්ගේ අධ්‍යාපනය පිලිබදව කිසිදු උනන්දුවක් නොදැක්වීමයි. මේ නිසා අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වී ඇති අතර මුදල් ගෙවා ඇති නිසා මෙයින් ඉවත්විමද කළ නොහැක්කකි. එබැවින් මව්පියන් ලෙස අපි දැන් සිටින්නේ ඉතා අසරණ තත්ත්වයකය.

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්දයෙන් ආයතනය වග නොකියන නිසා ඒ සම්බන්දයෙන් මව්පියන්ට මැදිහත් වීමට සිදුවී ඇත.අවසාන වසර විභාගය පැවැත්වීමට සහය දෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමන්ගේන් ඉල්ලීමට සිදුවන තරම් අසරණ භාවයකට අප ගොදුරුවී ඇත . 1 වන කණ්ඩායමේ සිසුන්ගේ මව්පියන් දෙදෙනෙකු වන රාගම රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සමරනායකගේ සහ වෛද්‍ය සමන්ති මෙන්ඩිස් ගේ අත්සනින් යුතුව අවසන් වසර විභාගය පැවැත්වීමට උදව් දෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපියක් යැව්වේ පසුගිය සතියේදීය.ආයතනය මේ කිසිවක් සම්බන්දයෙන් මැදිහත් නොවන අතර සියලු බර මව්පියන් කර මතය.

අනෙක් කරුණ වනුයේ මේ තත්වය තුල පවා නිසි අධ්‍යාපනයක් නොලැබීමය.වැඩිපුර මුදල් සෙවීම සදහා වසරකට කණ්ඩායම් දෙක බැගින් බදවා ගත්තත් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට ඉඩ පහසුකම් හෝ කාර්ය මණ්ඩලය නොමැත.උදාහරණයක් ලෙස 14 කණ්ඩායම ලෙස මේ මාර්තු මාසයේ සිට බදවා ගත්තත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඇරඹෙන්නේ සැප්තැම්බර් මාසයේ තවත් කණ්ඩායමක් බදවා ගැනීමෙන් පසුවය.මෙසේ මාස පහක් පමණ කාලයක් රස්තියාදු කලද එමසිසුන්ගෙන් මාර්තු මාසයේ සිටම ගාස්තු අයකරනු ලබයි.මෙවර 14 වෙනි කණ්ඩායම බඳවා ගන්නේ ඔවුන්ට අවිස්සාවේල්ල රජයේ රෝහල සායනික පුහුණුවට ලබා දෙන බව පවසමින් බොරු කියමිනි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධවූ නිසා දැන් අවිස්සාවේල්ල රජයේ රෝහල සයිටම් සිසුන්ගේ සායනික කටයුතු වලට ලබා දෙන්නේ නැත.අපේ දරුවන් බදවා ගත්තේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සායනික පුහුණුව ලබා දෙන බව බොරු කියමිනි. එයට ශික්ෂණ රෝහලක් ලෙස පිළි ගැනීමක් නැති බවත් එහි සායනික පුහුණුව වලංගු නැති බවත් පසුව පවසන ලදී.පළමු කණ්ඩායමේ සිට මේ අලුත්ම කණ්ඩායම දක්වා සිසුන් බදවා ගත්තේ මෙසේ බොරු කියමිනි

ආයතනයතුල ඉඩ පහසුකම් නැති නිසාත් කාර්ය මණ්ඩලය නැති නිසාත් සිසුන්ට දේශන හෝ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ ඉතා අඩුවෙනි. නිදසුනක් ලෙස මගේ දරුවා ඉගෙනුම ලබන 10වෙනි කණ්ඩායමට දෙසැම්බර් මාසයේ නිවාඩුව ලබාදුන් පසුව වරින්වර නිවාඩුව දීර්ඝ කරන ලදී.ඔවුනට පංති ආරම්භ කලේ මේ වසරේ පෙබරවාරි 1 වෙනිදාය . ඉන් පසුව පෙබරවාරි 2 වෙනි දා සිට යලි නිවාඩු ලබා දුන් අතර මේ නිවාඩුවෙන් පසුව යලි ආයතනයට එන්නට කියා ඇත්තේ මාර්තු 14 වෙනිදාය. ඒ අනුව මගේ දරුවාගේ නත්තල් නිවාඩුව මාස තුනකට අධිකය.මාර්තු 14 යලි නිවාඩු දීමේ අවදානමක් නැති අතර නිවාඩු නොදුන්නත් දේශන පැවැත්වෙන්නේ සති දෙකක් පමණි.අප්‍රේල් මාසයේ මුල යලි අවරුදු නිවාඩුව ආරම්භවේ.අපේ දරුවන් නිවසට වී සිටින අතර ලක්ෂ සියගණන් අය කලත්ඔවුනට උගන්වන්නේ නැත.මෙසේ නිවාඩු දීම නිසා තාවකාලික පදනමෙන් දේශණ පවත්වන කාර්ය මණ්ඩලයට කළයුතු ගෙවීම් නතර වන අතර ඒ හරහා මුදල් ඉතුරු කරගැනීම ආයතනයේ එකම අරමුණයි.එය ප්‍රමුඛත්වය දෙන්නේ මුදලට මිස සිසුනට නොවේ.

වර්ෂයට කණ්ඩායම් දෙක බැගින් බදවා ගත්තත් ඉඩ පහසුකම් පුළුල් කරන්නේ නැත. තවමත් ඇත්තේ ආයතනය ආරම්භයේ තිබු දේශන ශාලා සහ විද්‍යාගාර පමණි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිදුකල නිරීක්ෂණ චාරිකාවේදී ඉඩ පහසුකම් ඇති බව පෙන්වීමට ඔවුනට ආයතන ශ්‍රවණාගාරයද පේනවා ඇත.එහි තිබෙන ආසන 540 පමණ ප්‍රමාණයද සිසුනට දේශනා පැවැත්වීමේ පහසුකම් ලෙස හුවා දක්වා ඇත.එහෙත් මෙම ශ්‍රවණාගාරය තුල කෙදිනවත් දේශණ පවත්වා නැත. එය පිහිටුවා ඇත්තේ සයිටම් ආයතනයේ අමතර ආදායම් මාර්ගයක් වශයෙනි.එම ශ්‍රවණාගාරය පැයකට රුපියල් 25000ක පමණ මුදලකට බාහිර ආයතන වලට ලබා දෙයි. 1 වෙනි කණ්ඩායමේ සිසුන්ගේ මව්පියන් පවසන ආකාරයට දොස්තර නෙවිල් ප්‍රනාන්දු මේ ශ්‍රවණාගාරය ඉදිකර ඇත්තේ සියල්ලට පළමුව , විද්‍යාගාර පවා ඉදිකිරීමට පෙරය.මේ ආයතනයේ වාණිජ අරමුණු ගැන එය පමණක් වුව සැහේ.

සයිටම් ආයතනය සිසුන්ට නිවාඩු දෙන්නේද අමුතුම ක්‍රමයකටය.සති අන්ත නිවාඩු සදහා ආයතනය වැසූ පසු නිවෙස්වලට යන සිසුනට සඳුදා නොපැමිණ අහවල් දවසේ පැමිණෙන ලෙස ජංගම දුරකථනවලට පණිවිඩයක් ලැබේ. මේ කෙටි පණිවිඩ ලැබෙන්නේ කණ්ඩායම් නායකයන් ලෙස ආයතනය පත් කර ඇති ආයතනයට හිතවත් සිසුන්ගේ ජංගම දුරකථන වලිනි. ඒ නිසා මේ අසාධාරණයට එරෙහිව හඩ නැගීම සදහාවත් සිසුන් හෝ මව්පියන් එක දවසක එක වෙලාවක එකතු නොවේ. මෙය විරෝධය මගහැරීමට යෙදු උපක්‍රමයකි. රජයේ විශ්ව විද්‍යාලවල මෙන් නොව ශිෂ්‍ය නායකයන් තෝරන්නේ ආයතන පරිපාලනය විසින් වන අතර මව්පිය සංගම නිර්මාණය කරන්නේද ආයතනය විසින්මය. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉදිරියට දමා බොරු දෙමාපිය සංගමයක් අටවන්නේද සයිටම් ආයතනය විසින්මය. බහුතරයක් මව්පියන් මේ අසාධාරණයට විරුද්ධ නමුත් ඒ හඩ මතු වීමට ඉඩදෙන්නේ නැත.අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සහ අපේ මුදල් වංචාකාරී ලෙස පැහැර ගැනීමට විරුද්ධව සයිටම් ආයතනයේ ජාවාරම් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාවේ යෙදවිය යුතුය. අප රජයෙන් ඉල්ලා සිටින්නේ එයයි.
-නිමි-

– මාලබේ සයිටම් වෛද්‍ය විද්යාලයේ සිසුන්ගේ මව්පියන් පිරිසක් –
– මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මව්පියන්ගෙන් ජනරළ ට ලිපියක්-

RSL

Related Posts