SAITM විරෝධී වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝහල් අඩපණයි

Spread the love

මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට (සයිටම්) විරෝධය පාමින් රජයේ රෝහල් වෛද්‍යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඊයේ (07 දා) ක්‍රියාත්මක කරන ලද දීපව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල්වල බාහිර රෝගී අංශ, සායන හා සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු ඇනහිට පැවැති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල් ඒකකවල බාහිර සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් විශාල පිරිසකට ඊයේ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වුණි.

කොළඹ ජාතික, දන්ත, ඇස්‌ රෝහල, බොරැල්ල ආයුර්වේද රෝහල ඇතුළු දිවයිනේ රෝහල්වල ක්‍රියාත්මක වූ මෙම වැඩවර්ජනය අද (08 දා) උදැසන 7 ට අවසන් වීමට නියමිතය.

බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, ද සොයිසා කාන්තා, මහරගම පිළිකා, පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක ළමා යන රෝහල්වල වෛද්‍යවරු මානුෂීය හේතූන් මත මෙම වර්ජනයට එක්‌කර නොගත් බව සංවිධායකයෝ පවසති.

ගලේවෙල

වැඩවර්ජනයට ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු ද සහභාගි වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ප්‍රතිකාර හා සායනවලට ඊයේ පෙරවරුවේ රෝහලට පැමිණි රෝගීන් හිස්‌ අතින් පිටවී යන අයුරු දක්‌නට ලැබිණි.

මාතර

මාතර මහ රෝහලට පැමිණි රෝගීන්ගේ විශාල අඩුවක්‌ ඊයේ දක්‌නට ලැබිණි. බාහිර රෝගී අංශය සායන ක්‍රියාත්මක නොවුණි. කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර, හදිසි ශල්‍යකර්ම සහ රෝගීන් ඇතුළත් කර ගැනීම් සිදුවූ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මීගහකිවුල

මීගහකිවුල රෝහලේ වෛද්‍යවරු ද වර්ජනයට සහය දැක්‌වුව ද නේවාසික රෝගීන් පරීක්‍ෂාව හා හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කෙරිණි.

මඩකලපුව

නැගෙනහිර පළාතේ එකම ශික්‍ෂණ රෝහල වන මඩකලපුව ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කටයුතු ද අඩාලවී තිබිණි.

මේ නිසා පිට පළාත්වලින් පැමිණි රෝගීන් නැවත නිවෙස්‌ බලා යනු දක්‌නට ලැබිණි. බාහිර රෝගී අංශය බෙහෙත් අංශය ඇතුළු සියලුම අංශ ක්‍රියාත්මක නොවීම නිසා රෝගීහු විශාල අපහසුතාවකට පත්වූහ.

කන්තලේ

කන්තලේ මූලික රෝහලේ වෛද්‍යවරු 58 දෙනකු සේවයට වාර්තා නොකළ බව වාර්තා වේ.

මෙම වැඩවර්ජනය නිසා එම රෝහලේ බාහිර රෝගී අංශයේ සියලු වැඩ කටයුතු අඩාල වී මහජනතාව දැඩි පීඩනයකට ලක්‌වූහ. රෝහලේ අනෙක්‌ සේවා කටයුතු කිසිදු අවහිරතාවයකින් තොරව සිදු වූ බව වෛද්‍ය අධිකාරි ඩී. ජී. එම්. කොස්‌තා මහතා පැවසීය.

මොනරාගල

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සියලුම රජයේ රෝහල්වල බාහිර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ සායනවලට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.

මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහල, බිබිල, වැල්ලවාය, සියඹලාණ්‌ඩුව මූලික රෝහල්, ඉඟිනියාගල, මැදගම, බුත්තල, බඩල්කුඹුර, තණමල්විල, කතරගම දිසා රෝහල, දඹගල්ල, ඇතිමලේ, පිටකුඹුර, ඔක්‌කම්පිටිය, හිඟුරුකඩුව, හඳපානාගල, හම්බේගමුව, සෙවනගල යන ප්‍රාදේශීය රෝහල් ඇතුළු සියලුම මධ්‍යම බෙහෙත් ශාලාවල වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් වැඩවර්ජනයට එක්‌ව සිටියහ. බාහිර හා සායන ප්‍රතිකාර කටයුතු ඇනහිට තිබිණි. හදිසි අනතුරු, දැඩිසත්කාර ඒකකවල හා ගැබිනි සහ ළමා වාට්‌ටුවල වෛද්‍ය සේවාවන් නියමිත පරිදි සිදුකෙරිණි.

මැදගම ආයුර්වේද දිස්‌ත්‍රික්‌ රෝහල, කිරිඉබ්බන්වැව ආයුර්වේද රෝහල ඇතුළු මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවල වෛද්‍යවරු ද වර්ජනයට එක්‌ව සිටියහ. ඒ නිසා ඒවායේ බාහිර රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇනහිට තිබිණි. මෙම වැඩවර්ජනයට මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පශු වෛද්‍ය නිලධාරීහු ද එක්‌ව සිටියහ.

බලන්ගොඩ

බලන්ගොඩ මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය සහ සායන සියල්ල අඩපණ වී තිබෙනු දක්‌නට ලැබිණි.

රෝගීන් ඇතුළු කිරීම සහ නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදුවිය.

අනුරාධපුර

අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි රෝගීහු දැඩි ලෙස අපහසුතාවට පත්විය. අත්‍යවශ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මක කළ ද ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බාහිර රෝගී අංශයේ ඇතුළු රෝගීන් අපහසුතාවට පත්ව සිටිනු දක්‌නට ලැබිණි.

-දිවයින-

RSL

Related Posts