කෘෂිකර්ම ගොඩනැඟිල්ලට කෝටි 600ක් වතුරේ

Spread the love

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වසරකට රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදලක්, මහජන මුදලින් බදු ගෙවමින්, ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇති ගොඩනැඟිල්ලට රජයේ මුදල් නිකරුණේ වැය කිරීමට එරෙහිව, එම ක්‍රියාවට සම්බන්ධ සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි.

මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මෙම ගොඩනැඟිල්ල සඳහා රුපියල් කෝටි හයසියයකට ආසන්න මුදලක් ගෙවා ඇති බවත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන, හිස් ගොඩනැඟිල්ලක් සඳහා එසේ මුදල් නාස්තියක් සිදු කිරීමට කටයුතු කර ඇති සියලුම පුද්ගලයන්ගෙන් එම මුදල අයකරගත යුතු බවට අධිකරණයෙන් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලීමට තීරණය කර ඇති බව, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පවසයි.

ආංශික අධීක්ෂණ කාරක සභා පවත්වාගෙන යෑම සඳහා, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල ලබාගෙන, ඒ වෙනුවට, පිටස්තර ගොඩනැඟිල්ලක් මෙසේ විශාල මුදලක් වැයකර කුලියට ලබාගෙන ඇති බව සඳහන් කරන දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ආංශික අධීක්ෂණ කාරක සභා පැවැත්වීමට ප්‍රමාණවත් ඉඩ නොමැති බව පෙන්වා දෙමින්, මෙසේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල පාර්ලිමේන්තුවට පවරා ගැනීමට නිලධාරීන් කටයුතු කළ බව සඳහන් කළේය. මේ සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ප්‍රමාණවත් ඉඩක් නොමැතිනම් දැනට වසර දෙකකට ආසන්න කාලයක් ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පවත්වාගෙන ගියේ කෙසේදැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කරයි.

මේ අනුව තවදුරටත් ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පවත්වාගෙන යෑමටත්, කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැඟිල්ල තුළම පවත්වාගෙන යෑමත් සිදුකළ යුතුව ඇතැයිද බදු මුදල් වශයෙන් කෝටි 600කට ආසන්නව ගෙවා ඇති මුදල, මෙම ක්‍රියාදාමයට සම්බන්ධ සියලුම පුද්ගලයන්ගෙන් අයකර ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයිද පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව පැවැත්වීම සඳහාත්, පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සුදුසු ස්ථානයක් නොමැති බව සඳහන් කරමින්, ඒ සඳහා පිටස්තර ස්ථානයක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් උත්සාහ කළ අවස්ථාවේ, අගමැතිවරයා තමාද සමඟින් පාර්ලිමේන්තු සංකීර්ණය පරීක්ෂා කර පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ රැස්වීම් පවත්වනු ලබන ශාලාව ඒ සඳහා ලබාගත් බව සඳහන් කළ දිනේෂ් ගුණවර්ධන මහතා, නිලධාරීන් කිහිපදෙනකු මැති ඇමැතිවරු නොමඟ යවමින් කටයුතු කරන බවට මෙය කදිම නිදසුනක් බව අවධාරණය කරයි.

RSL

Related Posts